‘SLIIT’s Got Talent 2022’ සිසුන්ගේ විශිෂ්ඨ වූ කලා කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමක් ගෙන දෙයි.

Image (LBN)

 



 

 

SLIIT හි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව (FESC) විසින් දෙවසරකට පසුව සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ ප්‍රාසාංගික කුසලතා ප්‍රදර්ශනය කාගේත් සුවිශේෂී අවධානයට ලක් වෙමින්, සිසුන්ගේ කලාත්මක හැකියාවන් සහ විශිෂ්ඨ වූ රංගන කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් අයුරින් පසුගියදා පැවැත්විය.

8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ වාර්ෂික කුසලතා ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී  ‘Let’s Make it Happen’ යන තේමාව යටතේ පැවැත්විණි. SLIIT හි සියලුම පීඨ නියෝජනය කරමින් තරඟ වැදුණු සහජ දක්ෂතාවයන් ඇති උපාධි අපේක්ෂකයින්, අපූරු නර්තන ශිල්පීන්ගෙන් සහ ගායක ගායිකාවන්ගෙන් සැදුම්ලත් අලංකාර වූ සංගීතමය සුසංයෝගයක් නිර්මාණය කළේය. ඔවුන් SLIIT වාද්‍ය වෘන්දය වන ‘Elements’ සමඟින් එක්ව මෙම උත්කර්ෂවත් අවස්ථාව සුවිශේෂී වූ නොමැකෙන මතකයන්ගෙන් පිරී ගිය මොහොතක් බවට පත් කළ අතර 1,600 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳ ගැනීම සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

ගායන අංශයේ තරඟ සඳහා 250 දෙනෙකු සහ තූර්ය වාදක අංශයේ තරඟ සඳහා කණ්ඩායම් 14 ක් ලියාපදිංචි වූ අතර තෝරා ගැනීම්වලින් අනතුරුව අවසාන තරඟය සඳහා ගායන අංශයෙන් ගායකයින් 12 දෙනෙකු සහ නර්තන අංශයෙන් කණ්ඩායම් 6 ඉදිරිපත් විය.

ගායන අංශයේ දක්ෂතම ගායක ගායිකාවන් සඳහා ජයග්‍රාහී කිරුලු ප්‍රධානය කරනු ලැබූ අතර, ගායන අංශයේ ප්‍රථම ස්ථානය මදාරා පෙරේරා විසින් හිමි කර ගනු ලැබුවාය. එම අංශයේ දෙවන ස්ථානය විහාන් උඩවෙල විසින් දිනා ගත් අතර තුෂාන් විජයකෝන් තෙවන ස්ථානය හිමි කර ගත්තේය. ජනප්‍රියම ගායක අංශයේ ප්‍රථම ස්ථානය කසුන් වේරගොඩ විසින් හිමිකර ගනු ලැබීය. නර්තන අංශයේ ප්‍රථම ස්ථානය Six Counts නර්තන කණ්ඩායම දිනා ගත් අතර දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින්  Matra සහ The Dazzlers යන නර්තන කණ්ඩායම් විසින් හිමි කරගනු ලැබිණි. වඩාත් ජනප්‍රියතම සංගීත කණ්ඩායම බවට  තේරී පත් වූයේ Six Counts සංගීත කණ්ඩායමය.

SLIIT’s Got talent සමාරම්භක උත්සවය 2013 වසරේ දී  SLIIT ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එය සිසුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඉංජිනේරු පීඨය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පැවති සරල උත්සව අවස්ථාවක් ලෙස පැවැත්විණි. එය වසර ගණනාවක් පුරා, ප්‍රමාණයෙන් විශාල උත්කර්ෂවත් උත්සව අවස්ථාවක් ලෙස වර්ධනය වෙමින් වර්තමානයෙදී SLIIT තුළ සහ දේශීය විශ්ව විද්‍යාල අතර ද ප්‍රමුඛ පෙළේ උත්සවයක් ලෙස ද පිළිගැනීමට ලක්ව තිබේ. මේ වන විට මෙය කොළඹ BMICH සහ නෙළුම් පොකුණ වැනි විශාල වේදිකා සහිත ස්ථානවල සංවිධානය කරනු ලැබීම විශේෂත්වයකි.

ප්‍රබල සන්නාමයක් අත්පත් කරගෙන ඇති  SLIIT’s Got Talent අවසන් වරට පවත්වනු ලැබුවේ 2019 වසරේදීය. පැවති වසංගත උවදුර සහ ආර්ථික අභියෝග හමුවේ මෙම උත්සවය 2020 සහ 2021 වසර වලදී නොපැවැත්විණි. වසර දෙකකට පසුව මෙවර පවත්වනු ලැබූ SLIIT’s Got Talent උත්සවය අති සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කිරීම සඳහා සංවිධායක මණ්ඩලයේ සිසුන් 120 කට වැඩි පිරිසක් සිය දායකත්වය ලබා දුන් අතර, Faulty of Engineering Media Club සහ ස්වේච්ඡාවෙන් දායකත්වයන් ලබා දුන් සිසුන් හා සේවකයන්, Faulty of Engineering Student Community (FESC) සාමාජිකයන්ගේ සහාය ද  හිමි විය. තවද, SLIIT ආයතනයේ මූල්‍ය ආධාර ඇතුළු අනුග්‍රාහකයින් රැසක් මෙම උත්සවයේ සාර්ථකත්වයට දායක විය.

තරඟකරුවන්ගේ සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවයන් විනිශ්චය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් ප්‍රවීන වූ පුද්ගලයින්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් මේ සඳහා ඉදිරිපත් කර තිබිණි. ගායන අංශයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම පාලින්ද උඩවෙල ආරච්චි, ලහිරු ද කොස්තා සහ තනුර මධුගීත් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සිදු වූ අතර නර්තනය අංශයේ තෝරා ගැනීම් බාස්කර් ප්‍රකාශ්, සංචනා මාවෙල සහ සාරා අබේවර්ධන යන මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබීය.

ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”SLIIT Got Talent’ සිසුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවක් වීම සම්බන්ධයෙන් අප අතිශයින් ආඩම්බර වෙනවා. මෙවැනි අවස්ථාවන් තුළින් සුහදත්වයන් වර්ධනය කරන අතර උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපන කටයුතු හැඩගස්වා ගැනීමට උපකාරී වන අත්දැකීම් ද සමඟින් නොමැකෙන මතකයක් සහිත කණ්ඩායම් හැඟීමක් ඇතිකර දෙනවා. SLIIT Got Talents තුළින් වාර්ෂිකව කලා ක්ෂේත්‍රයට සාර්ථක වෘත්තිකයන් ලෙස ප්‍රවිෂ්ඨ වන කලාකරුවන් ද සිටිනවා. මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ සැමට අප ස්තූතිවන්ත වන අතර ඉදිරියේදීත් SLIIT’s Got talent වැනි සිසුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අඛණ්ඩව සහාය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ප්‍රජාවේ සභාපති අබ්දුල් මලික් මෙසේ පැවසීය. ” SLIIT’s Got Talent 2022 තරඟය හරහා අපගේ ශිෂ්‍ය ප්‍රජාව සතුව පවතින සුවිශේෂී කුසලතා එළිදැක්වීමට හැකියාව ලැබී තිබෙනවා.වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහන මේ වන විට වර්ධනය වී ඇති අතර දැන් එය ප්‍රධාන උත්සවයක් ලෙස පිළිගෙන තිබෙනවා. සමහර විට රටේ සියලුම විශ්ව විද්‍යාල අතරින් සිසුන් විසින් සංවිධානය කරනු ලබන විශාලතම දක්ෂතා එළිදැක්වීමේ උත්සවය මෙය විය හැකිය. අභියෝගාත්මක වටපිටාවක් හමුවේ මෙවර උත්සවයට සහය දැක්වීමට සහ අපගේ සිසුන්ට අමතක නොවන විචිත්‍රවත් අවස්ථාවක් නිර්මාණය කර දීමට දායක වූ SLIIT හි අපගේ කමිටුවට, කාර්ය මණ්ඩලයට, අනුග්‍රාහකයන්ට සහ සැමට මම ස්තුතිවන්ත වෙනවා.”

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව