SLIIT හි ROBOFEST 2022 තරඟාවලිය තුළින් අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් පුබුදුවාලයි.

Image 1 (5) (LBN)

 



 

 

SLIIT ආයතනයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ ඉංජිනේරු පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ROBOFEST 2022’ තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය. රොබෝ විද්‍යාව තුළින් ඉදිරියට ගිය අනාගත ඉංජිනේරුවන්ගේ සහ නවෝත්පාදකයින්ගේ දක්ෂතාවයන් පුබුදුවාලමින් හා සහභාගීවූවන්ගේ කණ්ඩායම් දක්ෂතාවයන් සහ හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණු මෙම තරඟාවලිය පුරාවට කණ්ඩායම් අතර තියුණු තරඟකාරී මුහුණුවරක් ගෙන තිබීම විශේෂත්වයක් විය.

මාලඹේ SLIIT විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවසන් මහා තරඟය සඳහා පාසල් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුණු අතර, එම කණ්ඩායම් විසින් ක්‍රීඩා උපක්‍රම, සැලසුම් සහ දක්ෂතාවයන් එළිදැක්වීම සිදු කෙරිණි.

SLIIT ROBOFEST තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම රොබෝ තරඟය ලෙස සැලකේ. මෙම වසරේ තරඟයේදී තරුණයින්ට ඔවුන්ගේ AI සහ තාක්‍ෂණ කුසලතා ඉගෙන ගැනීමට, ප්‍රදර්ශනය කිරීමට සහ පුහුණු වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර දෙන ලදි.

පාසල් කාණ්ඩයේ තරඟ, මට්ටම් දෙකක් යටතේ පැවැත්වූ අතර මේ සඳහා 100 කට වැඩි පිරිසක් ලියාපදිංචි විය. සරල රොබෝවක් නිර්මාණය කර වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා සහභාගීවන්නන් හට උපදෙස් මාලාවක් ඇතුළත් තාක්ෂණික ලේඛනයක් සංවිධායකයින් විසින් සපයා දීමට පියවර ගත්තේය. මෙහිදී තෝරා ගැනීම් සියල්ලෙන් අනතුරුව අවසාන තරඟය සඳහා සහභාගීවන්නන් 38 දෙනෙකු තෝරා ගනු ලැබීය.

පාසල් අංශයේ ප්‍රථම ස්ථානය නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ‘Trojan 22’ රොබෝ නිර්මාණය විසින් ජයග්‍රහණය කරනු ලැබීය. දෙවැනි ස්ථානය ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ‘Line Follower Bot’ සඳහා ද තෙවැනි ස්ථානය අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ‘Sinon’ රොබෝ නිර්මාණය විසින් ද හිමිකර ගනු ලැබිණි. කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘Ralphy Boy’ රොබෝ නිර්මාණයට සහ D.S සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම් දෙකක ‘Ultra’ සහ ‘CYBERNOTS DSS’ යන රොබෝ නිර්මාණ සඳහා සැනසිලි ත්‍යාග හිමි විය.

මූලික ත්‍යාග සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා රොබෝ විද්‍යා ආයතනය (SLIR) විසින් පිරිනමන ලදි. සැනසිලි ත්‍යාග සඳහා අනුග්‍රහය Magicbit ආයතනය විසින් ලබා දුන් අතර තාක්ෂණික සහාය සපයා දෙනු ලැබුවේ MEU Labs ආයතනය විසිනි.

විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ පැවති තරඟය සැප්තැම්බර් මස 25 දා සිට 26 දක්වා පැවැත්විය. මෙවර තරඟාවලියේ ජයග්‍රාහකයකු නොමැතිව විශ්වවිද්‍යාල අංශය අවසන් වුවද එම කාණ්ඩයේ ත්‍යාගය ඊළඟ වසරේ තරඟයට රැගෙන යනු ඇත. මෙහි ත්‍යාග සඳහා Zone 24/7 ප්‍රධාන අනුග්‍රාහකයා වූ අතර, එම කාණ්ඩය යටතේ පිරිනමන ලද සැනසිලි ත්‍යාගය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ‘Team C’ විසින් දිනා ගනු ලැබීය.

මේ සඳහා Orange සහ ACCELR යන ආයතන ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුනි. SLIIT හි ඉංජිනේරු පීඨය, මාධ්‍ය ඒකකය (Media Unit) සහ Institute of Electrical and Electronics Engineers හි (IEEE) සිසුන් විසින් මෙම තරඟාවලිය සඳහා සත්කාරකත්වය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන ලදි.

අවසන් මහා තරඟයට පෙර, SLIIT විසින් ROBOFEST 2022 සඳහා සහභාගී වීමට කැමති සිසුන් සහ උපාධි අපේක්ෂකයින් සඳහා තොරතුරු සම්මන්ත්‍රණ කිහිපයක් සහ අන්තර්ජාලය හරහා වැඩමුළුවක් ද පවත්වන ලදී. මෙම සම්මන්ත්‍රණ සිසුන්ගේ උනන්දුව උද්දීපනය කළ අතර, රට තුළ රොබෝ තාක්ෂණය පිළිබඳ පුළුල් අවබෝධයක් වර්ධනය කරවමින්, මෙය ශක්තිමත් AI සහ රොබෝ විද්‍යා ප්‍රජාවක් සංවර්ධනය කිරීම සඳහා විශිෂ්ඨ සහාය වැඩසටහනක් බවට පත් විය.

මෙම සම්මන්ත්‍රණ මගින් නව තාක්‍ෂණ ක්‍රම පිළිබඳව ද තොරතුරු සපයන ලද අතර, එය තරඟය ආරම්භයට පෙර සහභාගීවන්නන්ගේ උනන්දුව ඇති කළේය. මේ සඳහා වූ සම්මන්ත්‍රණ සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේදී සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා රොබෝ විද්‍යා ආයතනය නියෝජනය කරමින් රොෂාන් ප්‍රේමරත්න මහතා අන්තර්ජාල වැඩමුළුව මෙහෙයවන ලදි. ගැටළු සඳහා පිළිතුරු ලබා දීම ඇතුළුව සහභාගීවන්නන්ගේ අවශ්‍යතා සඳහා සහාය සහ තොරතුරු සැපයීමට සංවිධායකයින් සමාජ මාධ්‍ය භාවිතා කළහ.

තරඟය පිළිබඳව අදහස් දක්වමින් ROBOFEST 2022 සම්බන්ධීකාරක, ආචාර්ය ඇන්ටන් හෙට්ටිආරච්චිගේ දොන් මෙසේ පැවසීය. ”මේ තරඟය සඳහා සහභාගී වූ සියලුම දෙනා අතිවිශාල නිර්මාණශීලිත්වයක් පෙන්නුම් කළා. ඔවුන් ඉගෙනීමට සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අනාගතයේ රැකියාවක් කිරීමට අවශ්‍ය කුසලතා ඔවුන්ගේ කැපවීම තුළින් ප්‍රදර්ශනය කරනු ලැබුවා. ROBOFEST 2022 තරඟයේ සුවිශේෂී ජයග්‍රාහකයින් මෙන්ම ඔවුන්ට හොඳ තරඟයක් ලබා දුන් සියලුම දක්ෂ තරඟකරුවන් ගැන අපි ආඩම්බර වෙනවා. SLIIT ආයතනයේ ශිෂ්‍ය සංවිධායකයින්, අනුග්‍රාහකයින්, උපදේශකයින් සහ ස්වේච්ඡා සේවකයන්ගේ නොමඳ සහයෝගය නිසා මෙම තරඟය සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණා.”

SLIIT හි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය සහ අංශ ප්‍රධානී ආචාර්ය නිම්සිරි අභයසිංහ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”අපට අපේ සමාජයට නවෝත්පාදකයින් අවශ්‍යයි. ROBOFEST 2022 හරහා අනාගතයේ ගැටළු විසඳීම හා සම්බන්ධයෙන් නායකයින්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරනවා. රොබෝ විද්‍යා ප්‍රජාවේ කණ්ඩායම් සහ සිසුන්ගේ කැපවීම හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ඔවුන්ට රොබෝ විද්‍යාව තුළ උද්යෝගය මෙන්ම ප්‍රබෝධය ද අත්විඳීමට හැකියාව ලැබෙනවා. මෙම තරඟය මගින් ඔවුන්ව සංවර්ධනය කිරීමටත්, දක්ෂතාවයන්ගෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් වීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වී තිබෙනවා.”

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව