SHMA සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව ස්විස් ඉගෙනුම් ක්‍රමවේද ඇතුළත් නව අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙයි

1 - Baurs and VTA (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, තිරසාර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු තෝරාගත් අධ්‍යයන මධ්‍යස්ථානවලදී ආරම්භ කිරීම වෙනුවෙනි.

2019 වසරේ සිට වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සහයෝගීතාවට එළඹීම සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම ව්‍යාපෘතියේ අධ්‍යයන කටයුතුවලට අදාළ සැලසුම් ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මක වේ. ඒ යටතේ, SHMA ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යයන මධ්‍යස්ථාන ඇගයීමේ සහ තෝරාගැනීමේ කටයුතු මෙන්ම ඊට අදාළ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි. එහි අභිප්‍රාය වන්නේ, අධ්‍යයන ධාරිතා ඉහළ නැංවීම සහ වර්තමාන අධ්‍යයන අන්තර්ගත, විෂයමාලා සහ ඉගැන්වීම් ක්‍රමවේද අන්තර්ජාතික ප්‍රමිතියට සමපාත කිරීමයි.

ව්‍යාපෘතියේ පළමු අදියර 2025 වසර තෙක් ක්‍රියාත්මක වීමට නියමිත ය. ඒ යටතේ සිසුන් 2,240 දෙනෙකුට පුහුණුව හිමිවනු ඇති අතර, වෘත්තීය පුහුණු අධිකාරියේ ආචාර්ය මණ්ඩලයට ද විශේෂ පුහුණුවක් හිමි වේ. ඒ හරහා තම ඉගැන්වීම් කුසලතා වර්ධනය කරගනිමින්, නවමු සහ ප්‍රායෝගික ප්‍රවේශයක් ද සමඟින් ශිෂ්‍යයින් වෙත අත්දැකීම් පාදක කරගත් අධ්‍යයන අත්දැකීමක් සමීප කිරීමට ඔවුන්ට හැකිවනු ඇත. මෙම පුහුණුවේ තවත් වැදගත්කමක් වන්නේ, හුදෙක් තාක්ෂණික කුසලතා දියුණුවෙන් ඔබ්බට යමින්, පුද්ගල සංවර්ධනය සහ භාෂා පුහුණුව ද ඊට එක්කොට තිබීමයි.

රාජ්‍ය සහ පෞද්ගලික අරමුදල් හවුල්කාරීත්වයක් යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යයන ප්‍රමිතීන් ශක්තිමත් කරමින් ගෝලීය මට්ටමට ගෙන ඒමයි. මෙම මාස 9ක වේගවත් පුහුණු වැඩසටහන හරහා ප්‍රායෝගික එළඹුමක් සහිතව කුසලතා පරතරය අවම කිරීමට පියවර ගැනේ. එය විශේෂයෙන්ම විදෙස් රැකියා බලා පිටත්ව යාමේදී වඩාත් හොඳ රැකියා අවස්ථා ලබාගැනීමට අවැසි කුසලතාවලින් ශ්‍රී ලංකාවේ සිටින නුපුහුණු සහ අර්ධ පුහුණු තරුණ තරුණියන් සන්නද්ධ කරයි. ‘Plug & Play’ ක්‍රමවේදයට සකස් කර ඇති මෙම වැඩසටහන ඉගෙනුම ලබන්නන්ට සහ අධ්‍යයන මධ්‍යස්ථානය වෙත වඩාත් ප්‍රායෝගික සහ පහසු අධ්‍යයන ඒකක සහ ක්‍රමවේද හඳුන්වා දෙයි.

වෘත්තීය පුහුණු අධිකාරිය සතුව මෙරට දිස්ත්‍රික්ක 16ක් පුරා විසිරුණු අධ්‍යයන මධ්‍යස්ථාන 22ක් පවතින අතර, මේ වනවිට ඒවා අතුරින් SSG ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු මධ්‍යස්ථාන තෝරාගැනීමේ ඇගයීම් කටයුතු සිදුවේ. 2023 වසරේ ජූලි මාසය වනවිට මධ්‍යස්ථාන හයක් තෝරාගනිමින් ඒවායේ ඉගෙනුම ලබන සිසුන් 240කට මාස 9ක කාලයක් පුරා ආගන්තුක සත්කාර කළමනාකරණ විෂය ධාරාව යටතේ නවීන පුහුණුවක් ලබාදීමට නියමිත ය.

මෙම කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය ස්විස් වෘත්තීය කුසලතා සංවර්ධන විෂයමාලාව යටතේ වැඩිදියුණුකර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, කුසලතා පරතරය අවම කිරීම, ගුණාත්මක තත්ත්වයෙන් යුත් අධ්‍යයන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, ස්ත්‍රී සහභාගීත්වය දිරිමත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය සඳහා ශ්‍රමිකයින් සපයන ස්ථානයක් සහ හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම සඳහා ද මෙම ව්‍යාපෘතිය විශාල දායකත්වයක් දක්වනු නොඅනුමාන ය. මේ සියල්ල හරහා රටේ ආර්ථිකයට ද දැවැන්ත ශක්තියක් සැපයීමට මෙම ව්‍යාපෘතියට හැකිවනු ඇත.

වර්ෂ 1893 සිට ලොව පුරා විවිධ ජාතීන් 120කට වැඩි ප්‍රමාණයකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25,000කට වැඩි ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදී ඇති École hôtelière de Lausanne හි EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා යටතට ගැනෙන වෘත්තීය අධ්‍යාපන පුහුණු අවස්ථා පිරිනැමීමට SHMA ආයතනයට  අවසර හිමිව තිබේ. ඒ අනුව, ඉවුම් පිහුම්, ආහාර පාන සහ හෝටල් මෙහෙයුම් යන අංශ යටතේ එම වෘත්තීය පුහුණු අධ්‍යාපන පහසුකම් සැලසීමට SHMA ආයතනය කටයුතු කරයි.

SSG ආගන්තුක සත්කාර සහතිකය යනු ලොව අංක එකේ හෝටල් කළමනාකරණ පාසල වන École hôtelière de Lausanne EHL හි EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලා යටතට ගැනෙන වෘත්තීය අධ්‍යාපන පුහුණුව ලබාගැනීමේ පළමු පියවර ලෙස ද නම් කළ හැක. මෑතකදී, නෙස්ලේ ලංකා සමාගම සමඟ ද තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණුව වෙනුවෙන් විශේෂ සහයෝගීතාවකට එළඹීමට SHMA ආයතනය පියවර ගත්තේය. මීට අමතරව, සමාගම්වල ව්‍යාපාර අංශ ප්‍රධානීන්, කළමනාකරුවන් සහ ඉදිරිපෙළ කාර්යාල නිලධාරීන් වෙනුවෙන් විෂෙයෙන්ම සැකසූ ‘ආයතනික ආචාර රීති විශිෂ්ටතා‘ (Corporate Etiquette Excellence)  නම් කෙටි අධ්‍යයන පාඨමාලාවක් ද SHMA මගින් හඳුන්වා දී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව