SHMA, ශ්‍රී ලංකාවේ සත්කාර සේවා අංශ වෘත්තිකයින්ගේ කුසලතා නැංවීමේ නෙස්ලේ ලංකා වැඩසටහනට පහසුකම් සලසයි

1- Rolf and Jason (LBN)

 


 

 

බවර් සමාගමට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන අවසරලත් ඉගෙනුම් මධ්‍යස්ථානයක්වන Swiss Hotel Management Academy (SHMA), සත්කාර සේවා ක්ෂේත්‍රය තුළ තරුණ පරම්පරාවේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගියදා නෙස්ලේ ලංකා සමාගම සමඟ විශේෂ ගිවිසුමකට එළඹුණි.  SHMA යනු ලොව පැරණිතම සහ ප්‍රමුඛතම හෝටල් කළමනාකරණ විශ්ව විද්‍යාලයක්වන École hôtelière de Lausanne මගින් පිරිනමන EHL වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාවට අයත් වෘත්තීය අධ්‍යාපන පුහුණුව ලබාදීමට අවසර හිමිව ඉගෙනුම් මධ්‍යස්ථානයකි. වර්ෂ 1893 සිට සත්කාර සේවා අධ්‍යාපනය පිරිනමන École hôtelière de Lausanne යනු ලොව පුරා රටවල් 120කට වැඩි ප්‍රමාණයක උපාධිධාරීන් 25,000කට වැඩි පිරිසක් සිටින කීර්තිමත් සරසවියකි.

මෙම ගිවිසුමට බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් සහ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා යන මහත්වරු 2022 දෙසැම්බර් 12 වැනිදා අත්සන් තැබූ අතර, එම අවස්ථාවට සමාගම් දෙකම නියෝජනය කරන ඉහළ පෙලේ නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා සූපවේදී සංසදයේ සහ ශ්‍රී ලංකා සත්කාර සේවා උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ. ‍

ලොව විශාලතම ආහාරපාන සමාගමවන නෙස්ලේ  සමාගම, නිරෝගීමත් පවුල්, සවිබලගැන්වුණු ප්‍රජාවන් සහ හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වසර 115ක් පුරා දැඩි කැපවීමකින් සහ දායකත්වයකින් යුතුව කටයුතු කරයි. ඒ අනුව, තෝරාගත් තරුණ තරුණියන්ට මෙම EHL වෘත්තීය පුහුණු පාඨමාලාව හදාරා සිය කුසලතා දියුණු කරගනිමින්, සත්කාර සේවා අංශය තුළ ඇති හොඳම කුසලතා සහතිකය ලබාගැනීමට නෙස්ලේ ලංකා සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය සපයයි.

මෙම පෞද්ගලික අංශ සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ බොහෝ දෙනෙකුට EHL මගින් පිරිනැමෙන ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමයි. වැඩසටහනට ලියාපදිංචි කරගැනීමෙන් සහ බඳවා ගැනීමෙන් අනතුරුව ජනවාරි 9 වන දින සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලද අතර, EHL සහතිකලත් උපදේශකවරු සහ SHMA හි කර්මාන්ත ප්‍රවීණයන් විසින් ඉගැන්වීම් සිදුකරනු ලැබේ.

″නෙස්ලේ ලංකා සමාගම සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය සහ ලෝකයේ වඩාත්ම ඉල්ලුමක් ඇති සත්කාරක අධ්‍යාපන සැපයුම්කරුගෙන් ලබාගන්නා දැනුම සහ කුසලතාවලින් මෙරට තුළ කුසලතා සංචිතය දියුණු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටු වන්නෙමු. එමෙන්ම, මෙය බොහෝ ඉදිරි සහයෝගීතාවන්ගේ ආරම්භය වනු ඇත. විවිධත්වයෙන් අනූන සහ ජාත්‍යන්තර මට්ටමේ සත්කාරක ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ ලොවට ප්‍රදර්ශනය කිරීමට ගනු ලබන එවැනි පියවරවල කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි ආඩම්බර වන්නෙමු, ″ බ්ලාසර් මහතා ප්‍රකාශ කළේය.

ඇවන්සෙන්‍යා මහතා, මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, ″මෙම අනාගත හෝටල්කරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සත්කාරක ඇකඩමියක් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත්වෙනවා″, යනුවෙන් පැවසුවේය.

මෙම පාඨමාලාවට සහභාගිවන්නන්ගේ අතීත අත්දැකීම් සහ කුසලතා මත පදනම්ව  ඔවුන්ට මූලික මට්ටමේ ඩිප්ලෝමාව වෙනුවට අන්තර්මධ්‍යම මට්ටමේ ඩිප්ලෝමාව පිරිනමා තිබීම ද විශේෂත්වයකි. ඉන් අනතුරුව, ඔවුන්ගේ වත්මන් සේවා ස්ථානයේ ආධුනිකත්ව ප්‍රවේශයක් හරහා උසස් ඩිප්ලෝමා වැඩසටහන හිමිවනු ඇති අතර SHMA විසින් එය අධීක්ෂණය සහ ඇගයීමට ලක් කරනු ලබයි.

සතිපතා පැවැත්වෙන ආධුනිකත්ව වැඩසටහනේ සතියට එක් දිනක් න්‍යායික සහ ප්‍රායෝගික ඉගෙනීම සඳහා වෙන්වන අතර, දින 5ක් සේවාස්ථ පුහුණුවකින් සමන්විත වේ. EHL හි වෘත්තීය අධ්‍යාපන පුහුණුව සහිත ආධුනිකත්ව ආකෘතියක් පිරිනමන ශ්‍රී ලංකාවේ පළමු සත්කාරක කළමනාකරණ ආයතනය වන SHMA සමඟ මේ වනවිටත් හෝටල් රාශියක් හවුල්කාරීත්වයට පිවිස ඇති අතර තවත් හෝටල් රැසක් හවුල්කාරීත්ව ගිවිසුම්වලට එළඹීමට නියමිත ය.

සාම්ප්‍රදායික ස්විස් සත්කාර සේවාවේ නියෝජිතයෙකු බඳු EHL Ecole hôtelière de Lausanne, ලොසාන්, සිංගප්පූරුව සහ ෂෝර්-පසුග් හි සිය ප්‍රථම උපාධි සහ පශ්චාද් උපාධි පාඨමාලා පිරිනමන අතර මාර්ගගත ක්‍රමයට ද පාඨමාලා හැදෑරිය හැක. එහි අධ්‍යයන පාඨමාලා, ලොව හොඳම අධ්‍යාපන මාදිලිවලින් එකක් වන Swiss Competency Framework මත පදනම් වේ. මෑතකදී Swiss Agency for Development and Cooperation (SDC) සමඟ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ හවුල්කාරිත්වයක් ද ඇතිකරගත් SHMA, එමඟින් තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (SSG) වැඩසටහන හරහා ශ්‍රී ලංකාව තුළ RIESCO වැඩසටහන දේශීයකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ සත්කාර සේවා සහ සංචාරක කර්මාන්තයට සහාය වීම අරමුණු කරගත් මෙම SSG වැඩසටහන මගින් කුසලතා පරතරය අවම කිරීමට සහ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. එහිදී කාන්තා සහභාගීත්වය වැඩිකිරීම, දක්ෂතා සංචිතයක් ගොඩනගාගැනීම, ගෝලීය ප්‍රවණතා හා සමගාමීව තත්ත්ව ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්ත අතරට පත් කිරීම වැනි විවිධ පියවර අනුගමනය කරනු ඇත. එමඟින් සංචාරක ක්ෂේත්‍රය රජය සතු වගකීමෙන් මුදාගනිමින්, කර්මාන්තයට පමණක් නොව මෙරට කීර්තියට හා ආර්ථිකයට ද ශක්තියක් වනු ඇත.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව