PUCSL විසින් සිදු කළ විදුලි ගාස්තු සංශෝධන JAAF අගයයි

JAAF Logo

 



 

 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ජූලි-දෙසැම්බර් කාලය සඳහා මෑතකදී සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයට ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය සතුට පළ කළේය. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත‍්‍රයේ කාර්ය බහුල නොවන වේලාවන් (off-peak) සඳහා සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයන් පිළිබඳව JAAF මෙහිදී ප‍්‍රශංසා කළේය. 2022 අගභාගයේදී සහ මේ වසර මුලදී ක‍්‍රියාත්මක කරන ලද විදුලි ගාස්තු සංශෝධනයන් කර්මාන්තයේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගත්තේ නැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස, කාර්යබහුල නොවන වේලාවන්හි සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා වැය වන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් රැකියා අහිමි වීමේ අවදානමක් මතු වූ අතර කලාපයේ ඇඟලූම් කර්මාන්තයේ තරඟකාරිත්වයට බලපෑම් එල්ල විය. මෙම විදුලි ගාස්තු සංශෝධන සමස්ත ඇඟලූම් කර්මාන්තයේ තිරසාරභාවය සඳහා වැදගත් වේ.

2022 දී, off-peak හි විදුලි ගාස්තුව kWh 1කට රුපියල් 6.58 සිට රු. 15/kWh දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඉන්පසුව, මෙම වසර මුලදී, පෙර පැවති රු 15/kWh අගය රු. 34/kWh ක් දක්වා ඉහළ ගිය අතර එහි ප‍්‍රතිඵලය වූයේ මාස 12 ක් ඇතුළත, off-peak වේලාවන් සඳහා වන විදුලි ගාස්තු 400% කින් ආසාමාන්‍ය ලෙස ඉහළ යාමයි. JAAF විසින් මෑතකදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත විදුලි ගාස්තු පිළිබඳව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලද අතර, එයින් අවධාරණය කළේ ශ්‍රී ලංකාව කලාපයේ ඉහළම කාර්මික විදුලි ගාස්තුවක් ඇති රටක් බවයි. මෙය ඇඟලූම් කර්මාන්තයේ තරඟකාරිත්වයට සහ රටේ ආර්ථිකයට ඉතා තීරණාත්මක වන විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවට සැලකිය යුතු තර්ජනයක් විය. එබැවින්, ඇඟලූම් කර්මාන්තයේ off-peak වේලාවන්හි ගාස්තු ඇතුළුව කාර්මික ක්ෂේත‍්‍රයේ විදුලි ගාස්තු රු. 29/kWh දක්වා අඩු කිරීමට අදාල බලධාරීන් විසින් ගෙන ඇති තීරණය පිළිබඳව JAAF ප‍්‍රශංසාව පළ කර සිටී. මෙමගින් ඇඟලූම් කර්මාන්තයට off-peak වේලාවන්හිදී සිය නිෂ්පාදන මෙහෙයුම් සහ රැකියාවන් පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

නව විදුලි ගාස්තු සංශෝධන හේතුවෙන් සමස්ත කර්මාන්තය සඳහා 9% කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවී ඇත. JAAF මෙම පියවර අගය කරන අතර, කාර්මික ක්ෂේත‍්‍රයේ විදුලි ගාස්තු තවදුරටත් අඩු කිරීම පිළිබඳව PUCSL සලකා බලනු ඇතැයි සංසදය බලාපොරොත්තු වෙයි. මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ ගෝලීය වෙළෙඳපොළේ අහිතකර තත්වයන් නිසා ඇණවුම් සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් ඇඟලූම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබීමයි. 2023 මැයි මාසයේදී කර්මාන්තය ඇඟලූම් සහ රෙදිපිළි අපනයන ආදායමෙන් 14.55% ක පහත වැටීමක් අත්විඳින ලදී. එබැවින් කාර්මික ක්ෂේත‍්‍රයේ විදුලි ගාස්තු අඩු කිරීම හරහා මෙහෙයුම් පිරිවැය තවදුරටත් අඩු කිරීම කර්මාන්තයට වාසිදායක වනු ඇත. පසුගිය වසරේ සිට අඛණ්ඩව විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කලාපය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට ඇති තරඟකාරිත්වයට දැඩි බලපෑමක් එල්ල වූ අතර එය නැවතත් යථා තත්වයට පත් කිරීම සඳහා මෙම ක‍්‍රියාමාර්ගය ඉතා වැදගත් වේ.

ශ‍්‍රී ලංකාවට වත්මන් ආයෝජන පවත්වා ගෙන යාමට සහ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම් තරඟකාරී විදුලි ගාස්තු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. JAAF අවස්ථා කිහිපයකදී පෙන්වා දී පරිදි 2030 වන විට රටේ බලශක්තියෙන් 70%ක් පුනර්ජනනීය මූලාශ‍්‍රවලින් උත්පාදනය කිරීමේ රජයේ අරමුණ ඉටු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම කඩිනම් කළ යුතුය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට අමතරව, බලශක්තිය හුවමාරුව (power wheeling) සඳහා අනුමැතිය ඉතා වැදගත් වේ. පුනර්ජනනීය බලශක්තිය සඳහා පුද්ගලික අංශයේ ආයෝජනය කිරීමට ඉඩ සැලසීම මගින් කර්මාන්තවලට පුද්ගලික බලශක්ති සමාගම් සමඟ සහයෝගීතාවයෙන් තම බලශක්ති අවශ්‍යතා සපුරාලීමට, ලංකා විදුලිබල මණ්ඩලය මත පමණක් රඳා නොසිට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලසයි. මෙම පියවර මගින් CEB මත ඇති බර අඩු කරන අතර පාරිභෝගිකයින් සඳහා ද මිල අඩු කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. තවද විදුලිය නිපදවීමේ අධික පිරිවැය අඩු කිරීම සහ තරඟකාරිත්වය වැඩි කිරීම තුළින් විදේශ ආයෝජන ද රටට ගෙන්වා ගත හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව