Plasticcycle සහ The Pearl Protectors අතර හවුල්කාරීත්වය තුන් වන වරටත් අලුත් කෙරේ

Image 01 - John Keells Group’s Plasticcycle and The Pearl Protectors mark Three-Year Milestone (LBN)

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව අංශය වන Plasticcycle සහ The Pearl Protectors (TPP) සංවිධානය අතර පවතින හවුල්කාරීත්වය අඛණ්ඩව 3 වන වසරටත් අලුත් කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේය. “Cleaner Seabeds for Sri Lanka” ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි. Cleaner Seabeds for Sri Lanka යනු දිවයින වටා පිහිටි මුහුදු තීරයන්හි පතුලේ ඇති අත්හැර දමන ලද ධීවර ආම්පන්න ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.
 



 
ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම Plasticcycle හි දැක්ම වී තිබේ. Cleaner Seabeds for Sri Lanka ව්‍යාපෘතිය මෙම දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙන ව්‍යාපෘතියකි. මෙමගින් තම මෙහෙවර ගොඩබිම් සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට Plasticcycle වැඩසටහනට හැකි විය. මේ යටතේ මේ දක්වා PADI සහතික ලත් කිමිදුම්කරුවන් 175 කට අධික පිරිසකගේ දායකත්වය ඇතිව කිමිදුම් වාර 60 කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබේ. එම කිමිදුම්වලදී අත්හැර දමන ලද ධීවර ආම්පන්න, ප්ලාස්ටික් බෝතල්, ආහාර දවටන සහ ප්ලාස්ටික් බෑග් ඇතුළු අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1.9 ක් පමණ ඉවත් කිරීමට හැකියාව ලැබිණි.

“මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප සැබැවින්ම ආඩම්බර වනවා. අප දිගින් දිගටම මෙම ව්‍යාපෘතියට ලබාදෙන අත්වැල මගින් ඉතා යහපත් බලපෑමක් ඇති වී තිබෙන බව පැහැදිලියි.  උදාහරණයක් ලෙස මෙම හවුල්කාරීත්වය නිසා අපට ත්‍රිකුණාමලය තිලිප් කොරල් පරය සහ අඟුලාන ප්‍රදේශයේ Thermopylae Sierra නෞකාව ගිලී ගිය ස්ථානය වැනි වැදගත් ස්ථානවලින් අත්හැර දැමූ මත්ස්‍ය දැල් ඇතුළු අපද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් එම ස්ථාන සාගර ජීවීන්ට වඩාත් සුරක්ෂිත සහ හිතකර ස්ථාන බවට පත්කිරීමට හැකි වුණා. මෙය හුදෙක් සාගර පතුල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පමණක් නොවෙයි. මේ යටතේ ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වයෙන් කොළඹ, මිරිස්ස, වැලිගම, මන්නාරම, කායන්කර්නි සහ ත්‍රිකුණාමලය වැනි වෙරළ තීර ආශ්‍රිතව සාගර අපද්‍රව්‍ය සමීක්ෂණයක්ද සිදුකෙරෙනවා. මෙහි අරමුණ වන්නේ වඩාත් හොඳ සාගර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීමයි.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික මූල්‍ය, සමූහ බදු සහ සමාජ ව්‍යවසායකත්ව ප්‍රධානී සහ විධායක උප සභාපතිනි නිස්රීන් රේමන්ජී මහත්මිය පැවසුවාය.

“Plasticcycle and The Pearl Protectors අතර පවතින මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ ප්‍රයත්නයන්ගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. Cleaner Seabeds for Sri Lanka යනු ශ්‍රී ලංකාව වටා ඇති සංවේදී සමුද්‍ර පරිසර පද්ධති සහ ගල්පර විවිධ ආකාරයේ පරිසර දූෂණයන්ගෙන් මුදාගෙන ඒවා ආරක්ෂා කිරීම අරමුණු කරගත් මුල්ම සංරක්ෂණ ප්‍රයත්න අතරින් එකක්. පසුගිය කාලය තුළ සාමූහිකව කටයුතු කිරීම තුළින් අපට පරිසර පද්ධති රැකගැනීම සම්බන්ද ඉලක්ක රැසක් ළඟා කරගැනීමට හැකි වුණා.” The Pearl Protectors සංවිධානයේ නිර්මාතෘ/විධායක අධ්‍යක්ෂ මුදිත කටුවාවල මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය හේතුවෙන් පරිසර අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘති කණ්ඩායම ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කිරීමේ ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කරන ලදි. එහිදී ඔවුන්ගේ මූලික වගකීම වී ඇත්තේ විශේෂයෙන්ම නයිලෝන් නිෂ්පාදන ඇතුළුව අත්හැර දමන ලද ධීවර ආම්පන්න සාගර පතුලෙන් ඉවත් කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ජාතික ප්‍රයත්නයන්ට අත්වැලක් වීමය.

Plasticcycle යනු ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියයි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව