Peugeot නව ලාංඡනයක් සමගින් ඉදිරියට

Image I

 




 

2021 මාර්තු 30, කොළඹ: ලොව දැනට ක්‍රියාකාරී රථවාහන සන්නාම අතරින් පැරණිතම සන්නාමය ලෙස සැලකෙන Peugeot මේ වනවිට නව ලාංඡනයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙය Peugeot ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

වංශ සලකුණක (Coat of Arms) හැඩය සතිත නව සලකුණට තේජාන්විත සිංහ හිසක් ඇතුළත් වී තිබේ. මෙම සංකේත කවදත් Peugeot උරුමයක් ව පැවති සංකේත වලට සමාන ය. එය එදත් අදත් හෙටත් Peugeot හි සැබෑ අර්ථය ලෙස පැවති හා පවතින සාරය කැටිකොට ගත් ලාංඡනයකි. එමෙන්ම එය අකාලික, විශ්වීය හා බහු සංස්කෘතික අනන්‍යතාවක් සංකේතවත් වන පරිදි සහ, තවත් චිරාත් කාලයක් පවතින අයුරින් නිර්මාණය කර තිබේ. තවද එය ගෞරවය, ආත්ම විශ්වාසය, කල්පැවැත්ම සහ උරුමය හඟවයි. නව ලාංඡනයත් සමග Peugeot සිය ප්‍රෞඪ අතීතයත්, අති-නවීනත්වයත් එකතැන් කරයි.

1850 වසරේ සිට මේ දක්වා Peugeot ලාංඡන 10 ක් (නව ලාංඡනය හැර) හඳුන්වා දී ඇති අතර සිංහ සංකේතය එම සෑම ලාංඡනයකම අනිවාර්ය අංගයක් විය. පසුගිය වසර 10 තුළ Peugeot මාදිලි පෙළ පූර්ණ පරිවර්තනයකට ලක්වී තිබේ. Peugeot e-Expert මාදිලිය සඳහා 2021 වසරේදීද, Partner මාදිලිය සඳහා 2019 වසරේදීද ‘International Van of the year’ සම්මාන හිමි විය. මීට අමතරව 2014 වසරේදී 308 මාදිලිය, 2017 වසරේදී 3008 මාදිලිය සහ 2020 වසරේදී 208 මාදිලිය සඳහා ‘Car of the Year’ සම්මාන හිමි වී තිබේ. මේ වනවිට Peugeot සන්නාමය යටතේ මගී වාහන මෙන්ම සැහැල්ලු වාණිජ වාහන කාණ්ඩ යටතේ විදුලි බලයෙන් ධාවනය වන මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. මේ වැඩිදියුණු කිරීම් වලට සමගාමීව දැන් සන්නාම සැලසුමෙහිද වැඩිදියුණු කිරීම් සිදුකර තිබේ.

අලුතින් හඳුන්වා දී ඇති 11 වන Peugeot ලාංඡනය ගුණාත්මක බව හා අලංකාරය ඇතුළු පැතිමානයන් රැසකින් වැඩිදියුණු කිරීම් වලට ලක්වී ඇති අතර, එය Peugeot සන්නාමයේ ජාත්‍යන්තර සන්නාම සැලසුම් ඒකකය වන Peugeot Design Lab විසින් නිර්මාණය කරන ලද්දකි.

2021 වසරේදී Peugeot විසින් නවතම 308 මාදිලිය ප්‍රමුඛව නව මාදිලි එකතුවක් හඳුන්වා දෙන ලදි. Stellantis සමූහ ව්‍යාපාරය පිහිටුවීමට සමගාමීව නව වෙබ් අඩවියක්ද හඳුන්වා දී ඇති අතර, මේ සියල්ල Peugeot අනාගත ගමන් මගේ සුබ පෙරනිමිති ලෙස සැලකිය හැක.

Peugeot යනු කාලීනව වෙනස් වූ, එහෙත් සෑම විටම පියවරක් ඉදිරියෙන් සිටීමට සමත් වූ සන්නාමයකි. එය පාරිභෝගික චර්යාවන්හි වෙනස්කම් කල්තබා දකිමින්, ඒ අනුව නවෝත්පාදනය ඔස්සේ නව නිෂ්පාදන හා විසඳුම් හඳුන්වා දී ඇත. කාර්මික, තාක්ෂණික, දේශපාලනික, සමාජයීය හා ඩිජිටල් පරිවර්තනයන් හරහා පැමිණි Peugeot දැන් පාරිසරික පරිවර්තනයද ජයගනිමින් සිටී. මේ වනවිට බලශක්ති පරිවර්තනය සහ කාබන් ශූන්‍ය ගමනාගමන විසඳුම් හඳුන්වා දීම එහි තිරසාර අනාගත ක්‍රමෝපායේ මූලික ඉලක්ක වී තිබේ. මේ සියල්ල Peugeot හි මූලික හරය මැනැවින් නිරූපණය කරන අතර, සිය වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන්ගේ අපේක්ෂා නොඅඩුව සපුරා ලීමේ අරමුණින් එය පෙරට යමින් සිටී.

Peugeot යනු කාලයේ සීමා මායිම් ඉක්මවා, නැවත නැවතත් අලුත් වන සන්නාමයකි. Carmart සමාගම Peugeot සඳහා මෙරට එකම නියෝජිතයන් වන අතර දකුණු ආසියාවේ පැරණිතම Peugeot නියෝජිතභාවය හිමි සමාගමද එයයි. මේ සම්බන්ධ වැඩි විස්තර www.peugeot.lk හි දක්වා තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව