OrphanCare 15 වන වරටත් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට අරමුදල් බැරකරයි

pexels-oleksandr-canary-islands-7545725

 



 

 

OrphanCare භාරය අඛණ්ඩව 15 වන වරටත් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට අරමුදල් බැරකර තිබේ. මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ යහපත අරමුණු කරගත් ස්වාධීන අරමුදලක් වන OrphanCare, කාර්තුවකට වරක් බැගින් මෙලෙස අරමුදල් බැරකිරීම සිදුකරයි.

මේ සඳහා සහයෝගය ලබාදුන් පරිත්‍යාගශීලීන් ඇතුළු සියලුම දෙනාට OrphanCare අරමුදල සිය ස්තූතිය පළකර සිටී. තම අරමුණ යථාර්ථයක් බවට පත්කරමින්, මෙරට දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීමේ මෙහෙවරට දායක වීමට OrphanCare අරමුදලට හැකියාව ලැබී ඇත්තේ එම පරිත්‍යාගශීලීන් ඇතුළු සියලුම හවුල්කරුවන්ගේ නොමසුරු දායකත්වය හේතුවෙනි.

මීට අමතරව, ඉතාමත් විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ, රැකවරණය අහිමි දරුවන් අතරින් වයස අවුරුදු 18 ට සපිරුණු දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමටද OrphanCare මේ වනවිට පියවර ගෙන ඇත. ළමා නිවාසවලින් පිට වී ස්වාධීන පුරවැසියන් ලෙස සමාජයට පිවිසෙන අවස්ථාවේදී ඔවුන්ට අත්වැලක් වීම මෙහි මූලික අරමුණ වේ. මෙම දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, භාෂා හැකියාවන් සහ වෘත්තීය අපේක්ෂාවන් අනුව ඔවුන්ට සහය විය හැකි පෞද්ගලික හා ආයතනික මට්ටමේ පරිත්‍යාගශීලීන් සමග ඔවුන් සම්බන්ධ කිරීමට OrphanCare කටයුතු කරයි.

අමානා බැංකුව නිර්මාතෘ-අනුග්‍රාහකයෙකු වශයෙන් කටයුතු කරමින් ආරම්භ කරන ලද OrphanCare භාරයෙහි ඉලක්කය වන්නේ, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සමාජයේදී නැවත වරක් අසරණ වීමේ ඉඩකඩ අවම කරමින්, ඔවුන්ට සාර්ථක පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ය. මෙම භාරයෙහි සියලුම පරිපාලන හා මෙහෙයුම් වියදම් අමානා බැංකුව මගින් දරනු ලබන නිසා, පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම මුදල් අදාළ ප්‍රතිලාභීන් වෙත හිමි වේ.

මෙම සමාජ මෙහෙවර සමග අත්වැල් බැඳගන්නා මෙන් පරිත්‍යාගශීලීන්ට ආරාධනා කරමින්, OrphanCare භාරයෙහි සභාපති රුස්ලි හුසේන් මහතා මෙසේ පැවසී ය. “මේ ආකාරයට 15 වන වරටත් අරමුදල් බැරකිරීමට හැකි වීම OrphanCare වැඩසටහනේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක්. මෙය අපගේ අත්වැල හිමිවන දරුවන්ගේ ජීවිතවල බලාපොරොත්තු දල්වන පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. මූල්‍ය ස්ථාවරත්වය තුළින් මෙම දරුවන්ගේ ජීවිත සවිබල ගන්වමින්, තම සිහින සැබෑ කරගෙන යහපත් අනාගතයක් උදාකර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදීම අපගේ අරමුණ වී තිබෙනවා. මෙම වැඩසටහන සමග එක්වන මෙන්, මීට සමාන ආකල්ප දරන සියලුම දෙනාට අප ආරාධනා කර සිටිනවා. එකට එක්වී කටයුතු කිරීම තුළින් අපට මේ දරුවන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇතිකළ හැකියි. මේ උතුම් මෙහෙවරට දායක වීමට කැමති පුද්ගලයන්ට www.orphancare.org වෙබ් අඩවිය හරහා තම පරිත්‍යාගයන් OrphanCare අරමුදලට බැරකිරීමට පුළුවන්.”

OrphanCare ප්‍රධානී අසාද් සහීඩ් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “ජීවන තත්ත්වයන් නගාසිටුවීමට කැප වී සිටින සංවිධානයක් වශයෙන් අපගේ දැක්ම වන්නේ, තිරසාර ප්‍රජා සංවර්ධනයක් සඳහා දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ දායකත්වයද ඵලදායී ලෙස ලබාගැනීමයි. රටට සේවය කරන ඵලදායී පුරවැසියන් බවට පත්වීම සඳහා මෙම දරුවන්ට අවශ්‍ය සහය හැකි උපරිමයෙන් ලබාදීමට අප දිගින් දිගටම කටයුතු කරනවා. ඒ අරමුණ වෙනුවෙන්, අපගේ ආයතනික, සේවා සහ සත්කාරක හවුක්කරුවන් වශයෙන් අප සමග අත්වැල් බැඳගන්නා මෙන්, අපගේ අදහස්වලට සමාන අදහස් දරන සමාගම්වලට සහ සමාජ සේවා ආයතනවලට අප ආරාධනා කරනවා.”

සමාජ සේවාවන් සම්බන්ධයෙන් ඉමහත් උනන්දුවක් හා පළපුරුද්දක් සහිත ප්‍රවීණයෝ පිරිසක් OrphanCare හි පරිපාලනය භාරව කටයුතු කරති. එම ප්‍රවීණයන් වන්නේ සභාපති රුස්ලි හුසේන් (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), ලේකම් පී. ශිරීන් වොට්සන්, භාණ්ඩාගාරික ජස්රි මැග්ඩන් ඉස්මායිල් (AAT හි හිටපු සභාපති), දේශබන්දු තිලක් ද සොයිසා (Helpage Sri Lanka සභාපති), හර්ෂ අමරසේකර (ජනාධිපති නීතීඥ), කේ. ආර්. රවීන්ද්‍රන් (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), ශරාඩ් අමලින් (MAS Holdings සම-නිර්මාතෘ), ඔස්මාන් කාසිම් (අමානා බැංකුවේ නිර්මාතෘ සහ හිටපු සභාපති), තයිබ් අක්බරලි (Akbar Brothers හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ), සහ මොහොමඩ් අස්මීර් (අමානා බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්ම මහත්මීන් ය. ‘OrphanCare’ වැඩසටහනේ විශ්වාසනීයත්වය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා එහි භාරකරුවන් විසින් ශක්තිමත් පාලන රාමුවක් ස්ථාපිත කර තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව