Omega Line වෙළෙඳභාණ්ඩ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස ආයෝජන මණ්ඩල සම්මාන උළෙලේදී බුහුමන් දිනයි

1- Omega Line with award (LBN)

රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සපයන සමාගම් අගයනු වස්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමුවරට සංවිධානය කරන ලද ආයෝජන මණ්ඩල සම්මාන උළෙල පසුගිය අප්‍රේල් 02 වැනිදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එහිදී වෙළෙඳ භාණ්ඩ කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනාගැනීමට Omega Line සමාගමට හැකිවිය.

Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා සහ Omega Line – Vavuniya Apparels හි තත්ත්ව පාලන අධ්‍යක්ෂිකා සහ සාමාන්‍යාධිකාරිණී පැවලො ෆාවා මෙනවිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එම සම්මානය ලබාගත්හ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිරිනැමූ මෙම සම්මානය, Omega Line සමාගම මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වශයෙන් ලද වටිනා ඇගයීමක් ලෙස හැඳින්විය හැක.

 



 

ගෙවුණු 45 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඒ ඒ සමාගම් ලබාදුන් දායකත්වය, සම්මාන පිරිනැමීමේදී සැළකිල්ලට ගත් විශේෂ නිර්ණායකයක් විය. එහිදී එම සමාගම් හරහා රටට ජනනය වූ ඍජු විදෙස් ආයෝජන ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී තිබුණි.

තව ද ඍජු විදෙස් ආයෝජන ජනනය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් වූ ආයෝජන මණ්ඩල එකඟතාවය අනුව යමින්, ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය හරහා Omega Line ලබාදුන් දායකත්වය එමගින් ඇගයීමට ලක්විය.

කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුළන Omega Line ආයතනය වාර්ෂිකව මිලියන 100කට වැඩි ඇඟලුම් ප්‍රමාණයක් අපනයනය කරයි. ඒ සඳහා 4,500කට වැඩි සේවක පිරිසක් දායකවන අතර ඉන් කැපීපෙනෙන බහුතරයක් කාන්තාවන් වීම ද විශේෂත්වයකි. දේශීය සැපයුම්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් තම දේශීය රෙදි නිෂ්පාදන ධාරිතාව ද නංවාගැනීමට Omega Line ආයතනය සමත්ව ඇති අතර ඒ හරහා වඩාත් ශක්තිමත් සහ විචල්‍යතාවන්ට ගැලපෙන සැපයුම් දාමයක් බිහිකරගැනීමට අපේක්ෂිත ය.

Omega Line ආයතනය යනු 15,500කට අධික සේවක සංඛ්‍යාවකින් යුතු සහ, ඉකුත් වසරේදී ඇඟලුම් නිෂ්පාදන මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කළ මෙරට අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුවන Omega සමූහයේ සාමාජිකයෙකි. වර්තමානයේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ වුව ද ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි පිරිවැටුමක් සහ ඩොලර් මිලියන 350ක ආයෝජන සිදුකිරීමට සමූහය සමත්විය.

මේ අතර 2024 වසරේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ හොඳම සේවා ස්ථාන 15 අතරට එක්වීමට ද සමාගමට හැකිවූ අතර, මේ වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ද ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික දායකත්වය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට Omega Line සමත්විය.

සුවිශේෂී ඍජු විදෙස් ආයෝජන දායකත්වය සහ දිගුකාලීන ආයෝජන මණ්ඩල ව්‍යාපාර හා අපනයන සම්මාන උළෙලේ සම්මාන පිරිනැමුණු සෙසු කාණ්ඩ විය. සම්මාන ප්‍රදානෝත්සවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු ද එක්ව සිටියහ. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය හා එක්ව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන සමාගම් ජනාධිපතිවරයාගේ ද ප්‍රශංසාවට ලක්විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව