
දශක පහකට ආසන්න කාලයක් පුරා මෙරට සංචාරක ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වී සිටින NKAR සමාගම ඕස්ට්‍රේලියාවේ තම මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් එරට විශාලම සංචාරක සමාගම්වලින් එකක් වන Holiday Max සමාගම සමඟ එක් වෙයි. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටා ඇති Holiday Max සමාගම මෙරට මෙහෙයුම් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඕස්ට්‍රේලියානු සංචාරක වෙළෙඳපොළේ වේගයෙන් වර්ධනය වන සන්නාමයක් වන Holiday Max මීට පෙර කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා සංචාර සංවිධානය කර නැත. උපායමාර්ගික පියවරක් අනුව සිය සංචාරක සේවා කළමනාකරණ සමාගම ලෙස NKAR සමාගම තෝරා ගෙන ඇති ඔවුන් ඕස්ට්‍රේලියානු සංචාරක ප්‍රජාවට මෙරට සුන්දරත්වය විඳ ගැනීමට අවශ්‍ය පහසුකම් සැළැසීමට නියමිතය.
මෙම එක් වීම පිළිබඳව අදහස් දක්වමින් NKAR සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්යක්ෂ නිල්මින් නානායක්කාර මහතා මෙසේ පැවසීය. “මිල ගණන් අඩු කරමින් තරගයක නියැලීම සහ ඉටු කළ නොහැකි පොරොන්දු වෙනුවට සෑම විටම අපගේ දැක්ම වුණේ නව මෙහෙයවන්නන් ආකර්ෂණය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව නව වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමයි. සේවා ප්‍රමිති පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරනවා. පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම අපගේ වේගවත් වර්ධනයට හේතු වුණා. Holiday Max වැනි දැවැන්ත සමාගමක් අප සමඟ එකතු වීමට හේතුව හැටියට මම දකින්නේ අපගේ කැපවීම සහ උසස් සේවා ප්රමිතියයි.” සංචාරක ක්ෂේත්රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙම එක් වීම තුළින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් ඉහළට ඔසවා තැබීමටත්, ඕස්ට්‍රේලියානු සංචාරක වෙළෙඳපොළේ වර්ධනය තහවුරු කිරීමටත් හැකි වනු ඇත.