Microsoft සමාගම ජාතික විෂය මාලාවට AI අධ්‍යාපනය එක්කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සහය වෙයි

Microsoft - Image Three

2023 මාර්තු 21, කොළඹ: ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි. රටේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ පෙරළියකට ලක්කිරීම අරමුණු කරගත් මෙහි අත්හදා බැලීමේ නියමු අදියර 8 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වනු ඇත. මෙම අවබෝධතා ගිවිසුමට  අදාළව Microsoft 365 තාක්ෂණය පිරිනැමීමද ඇතුළත් වූ අතර, මෙම තාක්ෂණය ශිෂ්‍යයන් හා ගුරුවරුන් යන දෙපාර්ශ්වයටම සුරක්ෂිත සන්නිවේදන සහ සහයෝගීත්ව පහසුකම් සලසනු ඇත.

 


 

මේ යටතේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සැමට සමානව ලබාදීමේ අරමුණින්, ගෝලීය Microsoft Education කණ්ඩායම් සහ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙල කරන ලද පරිපූර්ණ විෂය මාලාවක්, එක් පළාතකටම අවම වශයෙන් එක බැගින් පළාත් 9 තුළින් තෝරාගත් පාසල් 20 ක ක්‍රියාවට නැංවීමට නියමිත ය. මෙම පාසල් මින් ඉදිරියට මෙම වැඩසටහන රට පුරා ක්‍රියාවට නැංවීමේදී ආදර්ශයක් ලෙස භාවිතා වනු ඇත. ‘Train the trainer’ ක්‍රමයට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් එය ශිෂ්‍යයන් මෙන්ම ගුරුවරුන් ද එක ලෙස සවිබල ගන්වනු ඇති අතර, ඒ ඔස්සේ AI යුගය ජයගැනීමට හොඳින් සූදානම් වීමට ඔවුන්ට හැකි වනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය 2024 මාර්තු මස 19 දින, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග්, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ Microsoft සමාගමේ සභාපති (ඉන්දියාව සහ දකුණු ආසියාව) පුනීත් චන්දොක් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛව, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ Microsoft යන පාර්ශ්වවල  නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී මෙම අවබෝධතා ගිවිසුම සහ එමගින් උදාවිය හැකි අනාගත අවස්ථා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දිනෙන් දින වෙනස් වන ගෝලීය පරිසරයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය කුසලතා අපගේ අනාගත නායකයින් වෙත ලබාදීම සඳහා AI තාක්ෂණය අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව අප තරයේ විශ්වාස කරනවා. Microsoft සමග අප ඇතිකරගත් මේ හවුල්කාරීත්වය, එම ප්‍රයත්නයේ වැදගත් සන්ධිස්ථානයක්. මේ ඔස්සේ අප එකට එක් වී, අනාගතයට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා AI තාක්ෂණයද ඇතුළුව ඩිජිටල් තාක්ෂණයට මුල්තැන දෙන ජාතික විෂය මාලාවක් හඳුන්වා දීමට උත්සාහ කරනවා.”

මෙම හවුල්කාරීත්වය, සිසුන්ට පමණක් නොව ගුරුවරුන්ට සහ අධ්‍යාපන ආයතනවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයට වැදගත් හැරවුම් ලක්ෂයක් වනු ඇත.

“අනාගත පරිවර්තනයක කේන්ද්‍රීය බලවේගය වන්නේ සිසු ප්‍රජාවයි. සමාජයේ තරුණ පුද්ගලයන් ලෙස ඔවුන්ගේ දියුණුව හා සංවර්ධනය පෝෂණය කිරීම සඳහා ගුරුවරුන් සුවිශාල කාර්යභාරයක් ඉටුකරනවා,” ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Microsoft ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

ශ්‍රී ලංකාව තම AI ඉදිරි ගමන ආරම්භ කරන මේ මොහොතේ, අනාගතයට සූදානම් වීමට දිරි දෙමින් රටේ ප්‍රගතියට අත්වැලක් වීම සඳහා Microsoft කැප වී සිටී. ජාතික අධ්‍යාපනික රාමුව තුළ AI තාක්ෂණය ඒකාබද්ධ කිරීම යනු, අනාගත පරපුර සවිබල ගන්වමින්, ඔවුන්ට රටේ AI පරිණාමයට සක්‍රීයව දායක වෙමින්, වෙනස් වන ලෝකයට සමගාමීව ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව සලසා දීම සඳහා ගත් ක්‍රියාශීලී ප්‍රවේශය ක් බව ද ඒ මහතා සඳහන් කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව