මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛා ජාලය 90 ක් දක්වා පුළුල් වෙයි

MD COO Sin (LBN)

වසර 60 කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි මෙරට වඩාත් විශ්වසනීයම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයවන විට සිය ශාඛා ජාලය 90 ක් දක්වා පුළුල් කිරීමට සමත් විය. මුල්‍ය සේවා සඳහා මෙරට ජනතාවට ඇති ප්‍රවේශය, පාරිභෝගික පහසුව සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා එම සමාගම දක්වන කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වේ. ඒ අනුව, 90 වැනි ශාඛාව ලෙස, තංගල්ල ප්‍රදේශය අවට ජනතාවට මුල්‍ය සේවා පිරිනැමීමේ අරමුණින් යුතුව තංගල්ලේදී විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාව පුරා ශාඛා ජාලය පුළුල් කිරීමේ ක්‍රමෝපායික සැලසුම අනුව යමින්, ප්‍රධාන නගරවල මෙන්ම, නගරාසන්න සහ ශීඝ්‍රයෙන් දියුණුවන අනෙකුත් ප්‍රදේශ තුළ ද සිය නාමය සනිටුහන් කිරීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කටයුතු කරමින් සිටී. ලීසිං, තැන්පතු, රන් ණය සහ පාරිභෝගික අවශ්‍යතාව අනුව සකස් කෙරෙන වෙනත් පහසුකම් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු මුල්‍ය විසඳුම් හරහා සියලු දෙනා ඇතුළත් මුල්‍ය වර්ධනයක් හිමිකර ගැනීමට මෙම සවිමත් ශාඛා ජාලය තුළින් හැකි වී තිබේ. තවද එම සමාගම පාරිභෝගිකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සමාගම් සහ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් හට පුද්ගලික මට්ටමේ උපදේශන සේවා ලබා දීමට ද කටයුතු කරයි.




“ශීඝ්‍රයෙන්ම පුළුල්වන බැංකු නොවන මුල්‍ය ආයතනය ලෙස පාරිභෝගිකයින්ගේ විශ්වාසය සහ ළෙන්ගතුබව අඛණ්ඩව ශක්තිමත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. මෙරට ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස හිමිකර ගෙන සිටින ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, තරගකාරී වෙළෙඳපොළ වාසිය පවත්වාගෙන යාම සඳහා අප ක්‍රියාත්මක කරන ක්‍රමෝපායික සැලසුම විදහා පාමින් පසුගිය වසර දෙකක කාලය පුරා අප ශීඝ්‍රයෙන් අපගේ ශාඛා ජාලය පුළුල් කිරීමට කටයුතු කළා. පාරිභෝගිකයින් සමග විශ්වාසය සහ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට, ඔවුන් අසළට ගොස් සේවය සැපයීම ඉතා වැදගත් වනවා. ඒ අතරම, ඩිජිටල් සේවා සඳහා අප සිදු කරන අඛණ්ඩ ආයෝජනය හේතුවෙන් වඩාත් පුළුල් පාරිභෝගික පදනමකට බාධාවකින් තොර සේවාවක් සැපයීමට හැකි වී තිබෙනවා,” යනුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ශක්තිමත් වර්ධන සැලසුම සහ ශික්ෂණයකින් යුතුව එම සැලසුම ක්‍රියාත්මක කිරීම මෙම කැපීපෙනෙන වර්ධනයට ප්‍රධාන හේතුවකි. 2025 වසරේදී එම සමාගම රු. බිලියන 100 ක වත්කම් පදනම පසු කිරීමට සමත් වූ අතර එය, 250,000 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම සමාගම කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය කියා පායි.

තවද පාරිභෝගික විශ්වාසය සහ තිරසර ද්‍රවශීලතා ලැබීම් ද පිළිබිඹු කරමින්, එම සමාගමේ ණය සේවාවල අගය රු. බිලියන 37 සිට රු. බිලියන 75 ක් දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර, රන් ණය රු. බිලියන 2 සිට රු. බිලියන 12 දක්වා හය ගුණයකින් ද, තැන්පතු රු. බිලියන 36 සිට රු. බිලියන 51 දක්වා ද වර්ධනය විය. ගත වූ වසරේ ප්‍රථම අර්ධයවන විට අක්‍රීය ණය ප්‍රතිශතය 4.65% ක් වැනි ඉතා යහපත් මට්ටමක පවත්වා ගැනීමට සමත් වීම විශේෂයෙන් කැපී පෙනෙයි.

“රු. බිලියන 50 ඉක්මවූ තැන්පතු පදනම සහ තිරසර වර්ධනය මගින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් කෙරෙහි පාරිභෝගිකයින් තබා ඇති නොසැලෙන විශ්වාසය මනාව නිරූපණය වනවා. තැන්පතුකරුවන්ගේ අභිලාශ ආරක්ෂා කරන අතරම ඔවුන් හට අර්ථාන්විත අගයක් නිර්මාණය කිරීම හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකවන විශ්වසනීය මුල්‍ය ආයතනයක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සතු භූමිකාව නොවෙනස්ව පවත්වා ගැනීමට දශක හයකට අධික කාලයක පටන් ගොඩනැගුණු දැක්ම මෙමගින් වඩාත් තහවුරු වනවා,” යනුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා අදහස් පළ කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දීමටත්, ඉදිරියට හමුවන ව්‍යාපාරික අවස්ථාවලින් ඵල නෙළා ගැනීමටත් සිය සමාගම ක්‍රමෝපායිකව මනා සූදානමකින් පසුවන බවය. තවද, ගත වූ මුල්‍ය වර්ෂය තුළ ගත් සුවිශේෂී පියවර හේතුවෙන් ඉදිරියේදී තවත් කැපීපෙනෙන ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇති බවත්, එමගින් මැදිකාලීනව සෑම අංශයක් තුළම වර්ධනයක් අත්කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

2027 වසර දක්වා ක්‍රියාත්මක කෙරෙන පුළුල් කිරීමේ සැලසුම් සහ e-wallet, අන්තර්ජාල බැංකුකරණය සහ කාඩ්පත් සේවා ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා සිදු කෙරෙන ක්‍රමෝපායික ආයෝජන හේතුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මෙතෙක් අත්කරගෙන සිටින වර්ධනය, තිරසර තරගකාරී වර්ධනයක් බවට පත්කර ගැනීමට අපේක්ෂා කරයි.

තවද, මෙම ජයග්‍රහණ මගින් විශ්වාසය සහ පාරිභෝගික සවිබල ගැන්වීම මත සමාගමේ මීළඟ වර්ධන අදියර පිළිබඳ පාරිභෝගිකයින්ට සහ කොටස්හිමියන්ට ශක්තිමත් පදනමක් පෙන්නුම් කිරීමට ද සමාගමට හැකි වී තිබේ. විශ්වසනීය මුල්‍ය ආයතනයක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, ශ්‍රී ලාංකේය ආර්ථිකය සවිබල ගැන්වීමටත්, ජාතික ප්‍රගතිය වෙනුවෙන් සහයෝගය ලබා දීමටත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට අඛණ්ඩව කැප වෙයි



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව