Kings Hospital Colombo උසස් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින් නව හෘද සැත්කම් ශල්‍යාගාර සංකීර්ණය විවෘත කරයි

WhatsApp Image 2026-10-30 at 11.32.16 AM (2)

මෙරට උසස් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, Kings Hospital Colombo රෝහල රුපියල් මිලියන 200කට අධික මුදලක් නව ශල්‍ය උපකරණ වෙනුවෙන් ආයෝජනය කරමින් සිය නව හෘද සැත්කම් ශල්‍යාගාර සංකීර්ණය 2026 ඔක්තෝබර් 08 වැනිදා විවෘත කරන ලදී. රෝහලේ වෛද්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රතිකාර ලබාදීමේ හැකියාවන් පුළුල් කිරීම සහ ශ්‍රී ලාංකික රෝගීන්ට උසස් හෘද රෝග ප්‍රතිකාර සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රෝහල දක්වන අඛණ්ඩ කැපවීම මෙම පියවර තුළින් පිළිබිඹු වේ.




නවීකරණය කරන ලද මෙම ශල්‍යාගාරය සංකීර්ණ හෘද සැත්කම් සඳහා අවශ්‍ය නවීන ශල්‍ය වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත වන අතර, වෛද්‍ය විශේෂඥයින්ට උසස් පහසුකම් සහිත පරිසරයක ප්‍රතිකාර සේවා ලබාදීමට අවස්ථාව සලසයි. මෙම ආයෝජනය තුළින් හෘද සැත්කම් සිදුකිරීමේ රෝහලේ හැකියාව තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එහිදී ප්‍රතිකාරවල නිරවද්‍යතාව, රෝගීන්ගේ ආරක්ෂාව සහ සාර්ථක ප්‍රතිකාර ප්‍රතිඵල ලබාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම නවීකරණය කරන ලද පහසුකම් අතර, හෘද සැත්කම්වලට භාජනය වන රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය විශේෂිත ප්‍රතිකාර ලබාදීමට අලුතින් ස්ථාපිත කරන ලද වෙනම හෘද හා උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් (Cardiothoracic ICU) පැවතීම ද විශේෂත්වයකි. හෘද සැත්කම් සඳහාම වෙන් වූ ශල්‍යාගාරයක් සහ දැඩි සත්කාර ඒකකයක් පැවතීම තුළින් සැත්කම සිදුකරන අවස්ථාවේ සිට ඉන් අනතුරුව රෝගියා සුවය ලබන තීරණාත්මක කාලසීමාව දක්වා මනා සම්බන්ධීකරණයකින් යුත් විශේෂිත වෛද්‍ය සත්කාර ලබාදීමට හැකි වේ.

මෙම නව ශල්‍යාගාර සංකීර්ණයට අමතරව, Kings Hospital Colombo රෝහල පුළුල් හෘද රෝග ප්‍රතිකාර සේවාවක් සඳහා අවශ්‍ය පහසුකම් රැසකින් ද සමන්විත වේ. හෘද කැතීටරීකරණ ඒකකයක් (Cath Lab), කිරීටක ධමනි ආශ්‍රිත හෘද රෝග සත්කාර ඒකකයක්  (Coronary Care Unit) සහ හෘද රෝගීන් සඳහා වෙන් වූ වෙනම වාට්ටුවක් (Cardiac Ward) ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මෙම පහසුකම් ඒකාබද්ධව ක්‍රියාත්මක වීම තුළින් රෝග විනිශ්චයේ සිට අවශ්‍ය වෛද්‍ය මැදිහත්වීම් සිට දැඩි සත්කාර සහ සුවය ලැබීම දක්වා හෘද රෝග ප්‍රතිකාර ක්‍රියාවලියේ සෑම අදියරකදීම රෝගීන්ට විශේෂිත සත්කාර ලබාදීමට අවස්ථාව සැලසේ.

පුළුල් හෘද රෝග ප්‍රතිකාර සේවාවක් සැපයීමේදී විවිධ වෛද්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයින් අතර සහයෝගීතාව කෙරෙහි ද රෝහල විශේෂ අවධානයක් යොමු කරයි. හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥයින්, හෘද රෝග විශේෂඥයින්, හෘද සැත්කම් නිර්වින්දන වෛද්‍ය විශේෂඥයින්, හෙද වෘත්තිකයින් සහ දැඩි සත්කාර විශේෂඥයින් එක්ව කටයුතු කරමින්, රෝගියාගේ මූලික වෛද්‍ය පරීක්ෂණවල සිට සැත්කම සිදුකොට, දැඩි සත්කාර ඒකකයේ සහ හෘද රෝග වාට්ටුවේ ප්‍රතිකාර ගැනීම  සහ සුවය ලැබීම දක්වා සෑම අදියරකදීම මනා සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිකාර සේවාවක් ලබාදීමට කටයුතු කරයි.

විශේෂිත දැඩි සත්කාර පහසුකම් සමඟ නවීන ශල්‍ය උපකරණ භාවිතයට ගැනීම තුළින් සංකීර්ණ හෘද රෝග තත්ත්වයන් සඳහා ශල්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන්ට සේවා සැපයීමේ රෝහලේ හැකියාව තවදුරටත් ශක්තිමත් වේ. එමෙන්ම මෙම වැඩිදියුණු කිරීම් මඟින් රෝගීන්ගේ විශේෂිත වෛද්‍ය අවශ්‍යතා සපුරාලන අතරම, ප්‍රතිකාර ක්‍රියාවලිය පුරා අඛණ්ඩ සහ සම්බන්ධීකරණය වූ සත්කාර සේවාවක් ලබාදීමට වෛද්‍ය කණ්ඩායම්වලට අවස්ථාව සැලසේ.

විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම හමුවේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ නවීන වෛද්‍ය තාක්ෂණය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කම ද මෙම නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීම තුළින් අවධාරණය කෙරේ. සිය හෘද රෝග ප්‍රතිකාර පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ උසස් හෘද රෝග ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමට සහ එම සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට Kings Hospital Colombo රෝහල අපේක්ෂා කරයි.

නව හෘද සැත්කම් ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීම, උසස් සායනික ප්‍රමිතීන් සහ රෝගීන් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා Kings Hospital Colombo රෝහල ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. විශේෂිත වෛද්‍ය පහසුකම්, නවීන තාක්ෂණය සහ විවිධ ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥ දැනුම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින්, ශ්‍රී ලංකාව පුරා සිටින රෝගීන්ට පුළුල් හෘද රෝග ප්‍රතිකාර සේවාවක් ලබාදීම සහ වඩාත් යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල ළඟා කරදීම කෙරෙහි රෝහල තවදුරටත් අවධානය යොමු කරයි.

හෘද සැත්කම් සඳහා වන සිය පහසුකම් තවදුරටත් පුළුල් කරමින් Kings Hospital Colombo රෝහල පසුගියදා රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන නව ශල්‍යකර්ම පද්ධතියක් ද හඳුන්වා දෙන ලදී. මෙම තාක්ෂණය මඟින් ශරීරයට සිදුවන කැපීම් අවම කරමින් වඩාත් ඉහළ නිරවද්‍යතාවයකින් හෘද සැත්කම් සිදුකිරීමට ශල්‍ය වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ තාක්ෂණය ආධාරයෙන් සිදුකළ හෘද සැත්කම සාර්ථකව නිම කරමින් රෝහල මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ද සනිටුහන් කර තිබේ. මෙම ජයග්‍රහණය උසස් ශල්‍ය වෛද්‍ය තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් රෝහල සතු වර්ධනය වන විශේෂඥ හැකියාවන් මැනවින් පිළිබිඹු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව