JAT Holdings PLC සමාගම සිය අපනයන ආදායමේ 317% ක වර්ධනයක් සමග ඉතිහාසයේ ඉහළම බදු-පසු ලාභය වාර්තා කරයි

JAT-2

 



 

 

 

  • සමූහයේ බදු-පසු ලාභය රු. මිලියන 717 දක්වා 232% කින් වර්ධනය වෙයි.
  • පසුගිය මාස 12 ක බදු-පසු ලාභය රු. මිලියන 1,102 ක්
  • සමස්ත ආදායම 72% කින් ඉහළට
  • දළ ලාභාන්තිකය 30% කට ඉහළ මට්ටමක ස්ථාවර පවත්වා ගනී.
  • අපනයන ආදායම සමස්ත ආදායමෙන් 9% සිය 22% දක්වා වර්ධනය වේ.

ජාත්‍යන්තර සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී, දුෂ්කර වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා විශිෂ්ට මට්ටමේ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. JAT සමූහයේ බදු-පසු ලාභය, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 232% කින් වර්ධනය වී රු. මිලියන 717 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය මාස 12 ක කාලයේ බදු-පසු ලාභය රු. මිලියන 1,102 ක් ලෙස වාර්තා වී ඇත.

මෙම විශ්ලේෂණයට අදාළ මූල්‍ය වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ ආදායම 72% කින් වර්ධනය වූ අතර, එහි දළ ලාභාන්තිකය 30% කට ඉහළ මට්ටමක ස්ථාවරව පැවතිණි. පෙර වසරේ සමස්ත ආදායමෙන් 9% ක් වූ අපනයන ආදායම, මෙම වසරේදී 22% දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පසුගිය මාස 12 තුළ සමාගමේ කොටසක් සඳහා ඉපැයුම රු. 2.16 ක් වී ඇති අතර එය ආයෝජකයනට සුභදායී ප්‍රවණතාවක් වනු ඇත. මෙම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමාගම සමත් වී ඇත්තේ, සාමාන්‍යයෙන් JAT සමාගමේ මෙන්ම සමස්ත ආලේපන කර්මාන්තයේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා වන කාර්තුව ලෙස සැලකෙන 4 වන කාර්තුවට පෙර ය. සාමාන්‍යයෙන් මෙම කර්මාන්තයේ මූල්‍ය වර්ෂයක සමස්ත බදු-පසු ලාභයෙන් 45% ක් පමණ 4 වන කාර්තුවේදී වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, JAT Holdings PLC සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. “අපගේ මූලික මහජන කොටස් නිකුතුවෙන් මාස 6 ක් වැනි කෙටි කාලයකින් අනතුරුව, පසුගිය කාර්තුවේදී අප වාර්තා කරගෙන තිබෙන මෙම සාර්ථක මූල්‍ය ප්‍රතිඵල අපගේ ආයෝජකයන් වෙත අනාවරණය කරන්නේ ඉතාමත් සතුටින්. දුෂ්කර වෙළඳපොළ තත්ත්වයන් හා අනෙකුත් අභියෝග, අවිනිශ්චිත විනිමය අනුපාත සහ ගෝලීය වෙළඳපොළේ අමුද්‍රව්‍ය හිඟය වැනි ගැටලු හමුවේ පවා මෙම ප්‍රතිඵල වාර්තා කරගැනීමට අප සමත් වී තිබෙනවා. වෙළඳපොළේ තත්ත්වයන්ට මැනැවින් අනුගත වෙමින්, දළ ලාභාන්තිකය යහපත් ලෙස පවත්වාගැනීමට අපට හැකියාව ලැබුණා. එමෙන්ම සැපයුම්කරුවන් සමග අප පවත්වාගෙන යන සමීප සම්බන්ධතා වලින් උපරිම ප්‍රයෝජන ලබමින් සහ, ‘Lean’ හා ‘Six Sigma’ වැනි මූලධර්මයන් ඔස්සේ අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් නිරන්තරයෙන් වැඩිදියුණු කරමින්, දළ ලාභාන්තිකය සම්බන්ධ ඉලක්ක ළඟා කරගැනීමට අප සමත් වී තිබෙනවා.”

JAT Holdings හි ව්‍යාපාර කටයුතු වලට අදාළ අනෙකුත් ක්ෂේත්‍ර සියල්ලද බෙහෙවින් සතුටුදායක ප්‍රතිඵල වාර්තා කර තිබේ. 2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 තුළ WHITE by JAT නිෂ්පාදන එකතුවේ අලෙවිය 62% කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව තීන්ත බුරුසු සහ දැව ආලේපන කාණ්ඩ වල අලෙවිය පිළිවෙළින් 57% කින් සහ 33% කින් වර්ධනය වී ඇත. බංග්ලාදේශයේ JAT Holdings හි ව්‍යාපාර කටයුතු වලින් ලැබූ ආදායම 379% කින් ඉහළ ගොස් තිබේ. මුලින් සැලසුම් කළ කාලයට පෙර, එනම් 2022 මූල්‍ය වර්ෂයේ 4 වැනි කාර්තුවේදී එරට තුළ JAT නිෂ්පාදන කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව මෙම ආදායම තවදුරටත් වර්ධනය වනු ඇත. තවද ‘Prime Grand Residencies’ සහ ‘606 The Address’ වැනි ප්‍රමුඛ පෙළේ සංවර්ධන ව්‍යාපෘති වලට අදාළ Kitchen & Wardrobe ව්‍යාපෘති ඇතුළුව තවත් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති වලට දායක වීමට සමාගම සූදානමින් සිටී.

“මේ ඉදිරි ගමන දෙස බලන විට, මෙම මූල්‍ය වර්ෂයේ බදු-පසු ලාභය සම්බන්ධ රු. බිලියන 1.2 ඉලක්කය ළඟා කරගැනීමට නිසැකවම අපට හැකි වේවි. අපගේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය නිසා, ඉදිරි මාස 5 ක කාලය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය තොග සුරක්ෂිත කරගැනීමට අපට හැකිවුණා. මෙය දැනට පවතින තත්ත්වයන් හමුවේ අපට බෙහෙවින් වාසිදායක කරුණක්. එමෙන්ම 4 වන කාර්තුව අතීතයේ පටන්ම අප ඉහළ ලාභයක් වාර්තා කරන කාර්තුවක් වන නිසා, එහි ප්‍රතිඵල ලැබෙන තුරු අප බලා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්. අභියෝග හමුවේ පවා 3 වන කාර්තුවේදී අප අත්පත් කරගත් ප්‍රතිඵල දෙස බලන විට, 4 වන කාර්තුවේදී මීටත් වඩා යහපත් ප්‍රතිඵල දැකගැනීමට ආයෝජකයන්ට හැකියාව ලැබෙනු ඇති බවට සැකයක් නැහැ. සියලුම ඉලක්ක ළඟා කරගනිමින් සහ අපේක්ෂා කළ මට්ටම් වලටත් වඩා ඉහළ ප්‍රතිඵල වාර්තා කරමින් 2021/22 මූල්‍ය වර්ෂය අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. තවද 2023 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව වනවිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත පර්යේෂණ හා සංවර්ධන අංශය, අපගේ දළ ලාභාන්තිකයන් තවදුරටත් වර්ධනය කරවීමට උපකාරී වේවි. මේ ඔස්සේ ඉදිරියේදී අඛණ්ඩව අපගේ ආයෝජකයන් වෙනුවෙන් ඉහළම වටිනාකම් තිළිණ කිරීමට අපට හැකිවනු නොඅනුමාන යි.” JAT Holdings PLC සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසී ය.

බාහිර බාධාවන්ගෙන් තම සැපයුම් හා වටිනාකම් දාමයන්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා සමාගම මේ වනවිට ‘Backward Vertical Integration’ ක්‍රමවේදය වෙත අවධානය යොමුකර ඇති අතර, තවත් සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටත්, තම ඉහළ ද්‍රවශීලතාවෙන් උපරිම ප්‍රයෝජන ලැබීමටත් සූදානමින් සිටී.

මේ ආකාරයට විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට අමතරව, JAT පින්තාරු අභිමන් වැඩසටහන ඔස්සේ, ශ්‍රී ලංකාවේ දැව කර්මාන්තයේ නියුතු ශිල්පීන්ට අත්වැලක් වීම සඳහා පුළුල් මට්ටමේ ආයෝජනයන් සිදුකිරීමටද JAT Holdings PLC සමාගම පියවර ගෙන ඇත. ‘සේයර්ලැක් සත්කාරය’ වැඩසටහනට අමතරව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග එක්ව ක්‍රියාවට නංවනු ලැබේ.

1993 වසරේදී ආරම්භ වූ JAT Holdings PLC එදා පටන්ම වේගයෙන් වර්ධනය වන සමාගමක් ලෙස මෙන්ම, දැව ආලේපන සඳහා මෙරට වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් විය. LMD මගින් අඛණ්ඩව වසර 4 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම 100 අතරට නම්කර ඇති JAT Holdings PLC, Brand Finance හි විශිෂ්ටතම සමූහ ව්‍යාපාර 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ. තවද අඛණ්ඩව වසර 5 ක් පුරා Moody වෙතින් ICRA “A+ Stable” ශ්‍රේණිය පවත්වා ගැනීමටද JAT Holdings PLC සමත් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව