‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තුන්වැනි සහතික ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් කෙරේ

Pinathroo 3rd Convocation (LBN)

ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු වෙළඳපොළේ ප්‍රමුඛයා වන JAT Holdings PLC මෙරට දැව කාර්මිකයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තුන්වැනි සහතික ප්‍රදානෝත්සවය 2024 ජනවාරි 18 දින තලවතුගොඩ JAT Holdings ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී වෘත්තිකයන් 132 දෙනෙක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (National Apprentice and Industrial Training Authority – NAITA) මගින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocational Qualifications – NVQ) හිමිකරගත්හ. ඒ අනුව මේ දක්වා ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන යටතේ NVQ Level 3 සුදුසුකම් සම්පූර්ණ කළ වෘත්තිකයන් සංඛ්‍යාව 370 කි.

 



 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා සහභාගී වූ අතර, එහිදී ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළකරමින් එතුමන් මෙසේ පැවසී ය. “වෘත්තීය ගරුත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම විශිෂ්ට හා සුවිශේෂී වැඩසටහනේ සාර්ථකත්වය දැකීමට ලැබීම අපට මහත් සතුටක්. මෙම වැඩසටහන මගින් ආවරණය කරනු ලබන පරාසය, රජයේ අවධානයද දැඩි ලෙස යොමු වී තිබෙන අංශයක් ලෙස හැඳින්විය හැකියි. පුහුණු ශ්‍රමිකයන්ගේ ගෞරවය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම, ඔවුන්ට සුරක්ෂිත ජීවනෝපායක නිරත වීමට අවස්ථාව ලබාදීම සහ ඔවුන්ගේ ශ්‍රමය අපතේ නොයැවීම සඳහා රජය මෙම ක්ෂේත්‍රවලට අදාළව නව නීති හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා.”

JAT Holdings PLC හි අධ්‍යක්ෂ (විකුණුම් හා තාක්ෂණික) වසන්ත ගුණරත්න මහතා මෙහිදී මෙසේ සිය අදහස් පළකළේ ය. “ශ්‍රී ලංකාවේ දැව නිර්මාණ ශීල්පින්ගේ හා පින්තාරුකරුවන්ගේ දැනුම වැඩිදියුණු කරමින් ඔවුන්ට නව අවස්ථාවන් උදාකර දීම අරමුණු කරගත් මෙම සුවිශේෂී වැඩසටහනේ තුන්වන සහතික ප්‍රදානෝත්සවය පැවැත්වීමට ලැබීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම කලාපයේ නැගී එන ප්‍රමුඛයෙකු ලෙස අප ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් එම වෘත්තිකයන්ට විධිමත් පුහුණුවක් සමග නිසි පිළිගැනීමක් හිමිවනවා. මෙය ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන අතරම, ක්ෂේත්‍රයේ ප්‍රමිතිය නංවාලීමටත් දායක වන බව අපගේ විශ්වාසයයි.”

2021 වසරේදී ආරම්භ කරන ලද JAT පින්තාරු අභිමන් වැඩසටහන, පින්තාරු ශිල්පීන්ට සහ දැව නිර්මාණ ශීල්පීන්ට සමාජයීය පිළිගැනීම, මූල්‍ය ස්ථාවරත්වය සහ වෘත්තීය පුහුණුව ලබා දෙමින් දැව ආලේපන කර්මාන්තය නගාසිටුවීමට සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ. විශිෂ්ට කුසලතා ඇති, එහෙත් එම කුසලතා සඳහා විධිමත් සහතිකකරණයක් ලබාගැනීමට නොහැකි වූ පින්තාරු ශිල්පීන්ට එම සහතිකකරණය ලබාගැනීමට අවස්ථාව උදාකර දෙමින් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙම දීර්ඝකාලීන වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. JAT Holdings PLC සහ NAITA එක්ව පවත්වනු ලබන කඩිනම් පාඨමාලාවක් මගින් මෙම NVQ Level 3 සුදුසුකම් පිරිනමනු ලබයි.

3 වැනි වරටත් පවත්වන ලද මෙම ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals – SDGs) අතර අංක 1 (සියලු තන්හි පවතින සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම), අංක 4 (ගුණාත්මක අධ්‍යාපනයක්), අංක 8 (සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය), සහ අංක 9 (කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්) යන ඉලක්කවලට සමගාමීව සැලසුම් කර ඇත. මෙලෙස කුසලතා වැඩිදියුණු කිරීම සහ තිරසාර පුරුදු දිරිගැන්වීම තුළින්, රටේ අධ්‍යාපනය හා ජීවනෝපාය සංවර්ධනය සඳහා කැපීපෙනෙන දායකත්වයක් දැක්වීමට JAT Holdings PLC සමත් වී තිබේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතරින් 5 වැනි ඉලක්කයට (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය) සමගාමීව මෑතකදී පින්තාරු ශිල්පිනියන් සහ දැව කාර්මික ශිල්පිනියන් වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමටද ‘JAT පින්තාරු අභිමන්’ කටයුතු කළේ ය.

JAT Holdings PLC යනු ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු වෙළඳපොළේ ප්‍රමුඛයා වන අතර, තීන්ත හා ආලේපන මෙන්ම ඉහළ ප්‍රමිතියෙන් යුත් ගෘහස්ථ හා කාර්යාලයීය ගෘහභාණ්ඩ සම්බන්ධයෙන්ද එය විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. එහි කර්මාන්තශාලා ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පිහිටා ඇති අතර, ශ්‍රී ලංකාව තුළ එහි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබේ. අභියෝග හමුවේ පවා සිය මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත් වීම හේතුවෙන් Fitch Ratings වෙතින් JAT Holdings PLC වෙත ‘AA(lka)’ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිය පිරිනමා ඇති අතර, LMD මගින් Diversified Sector කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සම්මාන දිනූ සමාගම ලෙසද JAT Holdings PLC ඇගයීමට ලක් වී තිබේ. සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් කැපවෙමින්, විශිෂ්ට මට්ටමේ ආයතනික සම්ප්‍රදායක් පවත්වාගෙන යාමට සමත් වීම නිසා Great Place to Work ඇගයුමද JAT Holdings PLC වෙත හිමි විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව