
Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC ලෙස පරිවර්තනය වේ
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC බවට පත්වීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2025 මැයි 28 වන දින පවත්වන ලදි. මෙම පරිවර්තනය මගින් සමාගමේ වෙළඳපොළ අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් වන අතරම එහි අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම වඩාත් පහසු වනු ඇත.
මෙහිදී සමාගම අවධාරණය කළේ මෙම පරිවර්තනය හුදෙක් ආයතනික නාමය වෙනස් වීමක් පමණක් නොව, මෙමගින් වැඩි ශක්තියක්, ස්ථාවරත්වයක් හා සම්පත් ප්‍රමාණයක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට තමන්ට හැකියාව ලැබෙන බවයි. එමෙන්ම මෙම වෙනස තුළින් ගනුදෙනුකරුවන් කෙරෙහි තමන් තුළ ඇති දයාව තවදුරටත් වර්ධනය වී ඇති බවත්, එමගින් විශේෂයෙන්ම මූල්‍යමය අභියෝග හමුවේ ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීම සඳහා තමන් දක්වන උනන්දුව හා කැප වීම තවදුරටත් ශක්තිමත් වන බවත් ඔවුහු අවධාරණය කළහ.
ශ්‍රී ලංකාව තුළ මැනැවින් ස්ථාපිත සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහය) හි කොටසක් බවට පත්වීම තුළින් Janashakthi Finance PLC සමාගම වඩාත් පුළුල් හා ශක්තිමත් සමාගමක් බවට පත් වේ. එමෙන්ම එමගින් පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ මූල්‍ය අන්තර්කරණය යන පොදු වටිනාකම් කෙරෙහි විශ්වාසය තබන ස්ථාවර සහ ඉදිරිගාමී සමූහ ව්‍යාපාරයක පිටුබලය Janashakthi Finance PLC වෙත හිමි වනු ඇත.
මෙම ක්‍රමෝපායික පරිවර්තනය, දයාන්විත පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් Orient Finance සතු වසර 43 ක උරුමය සමගින් ජනශක්ති සන්නාමයේ විශ්වාසය සහ වෙළඳපොළ පරාසය එක්තැන් කරන පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. Janashakthi Finance PLC ලෙස නම් කිරීමෙන් පසු, ආයෝජන, රක්ෂණ සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විවිධාංගීකරණය වූ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරයේ), කොටසක් ලෙස සමාගමේ ස්ථාවරය ශක්තිමත් කරයි.
Janashakthi Finance PLC යනු දීර්ඝ කාලයක පටන් සිය ගනුදෙනුකරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, ඔවුන්ට විශ්වාසය තැබිය හැකි මූල්‍ය සහකරුවෙකු බවට පත් වීම සඳහා කැප වී කටයුතු කළ සමාගමකි. ජනශක්ති නාමය සමග ඒකාබද්ධ වීම මගින් ලැබෙන අමතර පිළිගැනීම සහ ජනප්‍රියත්වයද සමගින් එම කැපවීම තවදුරටත් ශක්තිමත් කරගැනීමට සමාගමට හැකි වනු ඇත. මේ දක්වා සමාගම සිය ගනුදෙනුකරුවන් සමග පවත්වාගත් සම්බන්ධතා, ඔවුන්ගේ ගිණුම් සහ සේවාවන් කිසිදු ආකාරයකින් වෙනස් නොවන අතරම, එමගින් මේ දක්වා සමාගම කෙරෙහි නොසැලෙන විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන්ට මෙම නව පරිවර්තනයට අනුගත වීම වඩාත් පහසු වනු ඇත.
ආයතනික යහපාලනය සහ ක්‍රමෝපායික නායකත්වය ඔස්සේ සමාගමේ ඉදිරි ගමනට මගපෙන්වීම සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂ මණ්ඩලයක් සූදානමින් සිටී. එම අධ්‍යක්ෂ මණ්ඩලයට සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ රාජේන්ද්‍ර ත්‍යාගරාජා, විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, කේ. එම්. එම්. ජබීර්, විධායක නොවන අධ්‍යක්ෂ ප්‍රකාශ් ඒ. ශාෆ්ටර්, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ/ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ශ්‍රියාන් කුරේ, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ දර්ශන රත්නායක, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ නලින් කරුණාරත්න, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා මනෝහාරී අබේසේකර, ස්වාධින විධායක නොවන අධ්‍යක්ෂිකා සඳමාලි චන්ද්‍රසේකර සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ඩැනියෙල් ඇල්ෆොන්සස් යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
ඉදිරියටත් තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් සේවා), විකල්ප මූල්‍ය විසඳුම් (ඉස්ලාමීය මූල්‍ය සේවා) සහ ආයතනික මූල්‍ය විසඳුම් ඇතුළුව තමන්ට සුපුරුදු මූල්‍ය සේවාවන් සියල්ල එලෙසින්ම ලබාදීමට Janashakthi Finance PLC සූදානමින් සිටී. එමෙන්ම ඉදිරියටත් Janashakthi Finance PLC සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් සහ Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගත් සමාගමක් ලෙස පවතිනු ඇත.
තවද සමාගම දැනටමත් තම ස්ථාවර තැන්පතු සහ ණය සේවාවන් වැනි සේවාවන්ට අදාළ අලෙවිකරණ කටයුතු සඳහා අභ්‍යන්තර මට්ටමින් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) අනන්‍යතාව භාවිතා කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ගනුදෙනුකරුවන්ගෙන්ද සාධනීය ප්‍රතිචාර හිමි වී තිබේ. ඉදිරියේදී වෙළඳපොළ තුළ ඒකීය අනන්‍යතාවක් සහිතව ස්ථාවර වීමේ අරමුණින් සමාගමේ බාහිර අනන්‍යතාවද මෙම අභ්‍යන්තර වෙනස්කම්වලට අනුකූලව පරිවර්තනය වේ.
Janashakthi Finance PLC සමාගම (මීට පෙර Orient Finance PLC)
Janashakthi Finance PLC සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් සේවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 43 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම විසඳුම් හා සේවාවන් පිරිනමන මූල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කරගැනීමට Janashakthi Finance PLC සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Finance PLC ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA). වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.