INTREPID TRAVEL ගෝලීය සමුළුව මෙරටදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

Image 1- Intrepid team in Sri Lanka (1) (LBN)

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරණ සමාගමවන Intrepid Travel, සිය වාර්ෂික ගෝලීය සමුළුව පෙබරවාරි 24-27 දිනවල ශ්‍රී ලංකාවේදී අතිසාර්ථක ලෙස සංවිධානය කිරීමට සමත්විය. රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 200ක ජාත්‍යන්තර නියෝජිතයින් පිරිසක් ඊට සහභාගී වූහ. මීට අමතරව ශ්‍රී ලංකාවේ Intrepid Travel හි සාමාජිකයෝ 300ක් පමණ ද මෙම ගෝලීය සමුළුවට එක්ව සිටියහ.
 



 

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය කේන්ද්‍ර කරගත් Intrepid Travel ආයතනය ඕස්ට්‍රේලියාවෙන් පිටත තම ගෝලීය සමුළුව සංවිධානය කළ දෙවැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. සමාගමේ ගෝලීය ව්‍යාපාර මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ Intrepid Travel කණ්ඩායම මගින් ලැබෙන සුවිසල් දායකත්වය, මෙසේ ගෝලීය සමුළුව සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීමට විශේෂ හේතුවක් විය. ගෝලීය සමුළුව සංවිධානය කිරීම මගින් මෙරට ආර්ථිකයට ද රුපියල් මිලියන 50කට වැඩි දායකත්වයක් සැපයීමට මෙරට Intrepid Travel කණ්ඩායමට හැකියාව උදාවිය.

පෙබරවාරි 27 වැනිදා දිනය පුරා කොළඹ BMICH හිදී පැවැති ප්‍රධාන සමුළුවට Intrepid Travel හි අධ්‍යක්ෂ මණ්ඩලය, සම-නිර්මාතෘවරු සහ ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම එක්ව සිටියහ. ඊට අමතරව තවත් 2,500කට වැඩි Intrepid Travel සේවක පිරිසක් livestream තාක්ෂණය යටතේ සහ ඒ ඒ රටවල්වලදී ස්වාධීන වශයෙන් සැමරුම් සංවිධානය කරමින් මෙම ගෝලීය සමුළුවට සහභාගී වූහ. ගෝලීය සමුළුවට සමගාමීව, Zero Plastic Movement සමඟ එක්ව වරක් පමණක් භාවිත කර අපතේ දමන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය ප්‍රවර්ධනය උදෙසා අරමුදල් රැස්කිරීම, ප්‍රජා සහභාගීත්වය හා උපදේශනය වෙනුවෙන් වැඩසටහනක් ද Intrepid මගින් සංවිධානය කරතිබුණි.

සමුළුවේදී Intrepid හි නව සන්නාම ස්ථානගතකිරීම වෙනුවෙන් ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබුණු අතර 45කට වැඩි දේශකයෝ පිරිසක් සමුළුව ඇමතූහ. Intrepid ගෝලීය කණ්ඩායමේ සාමාජිකයින් දෙපළක්වන පේරු රාජ්‍යයේ Intrepid කණ්ඩායම නියෝජනය කරන ෆර්නැන්ඩෝ රොඩ්‍රිගස් සහ ශ්‍රී ලංකා Intrepid කණ්ඩායමේ සාමාජික ප්‍රමාලි ප්‍රනාන්දු සමුළුවේ පූරකයින් ලෙස කටයුතු කළහ.

සමුළුවේදී ආයතනික මට්ටමින් වැදගත් කරුණු රැසක් හුවමාරුකරගැනුණු අතර, ආයතනයේ ප්‍රසාරණය පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුවිය. දැනට රටවල් 28ක ක්‍රියාත්මක Intrepid සමාගම ඉදිරි මාස 12ක කාලය තුළ රටවල් 33ක් දක්වා තම ව්‍යාප්තිය වැඩිකිරීමට සැලසුම් කරඇති බව මෙහිදී අනාවරණය කෙරුණි. එමෙන්ම 2027-2028 කාලයේදී සමාගම තවදුරටත් සිය ගෝලීය මෙහෙයුම් පුළුල් කිරීමට නියමිත බව ද සඳහන් විය. එමෙන්ම, අඛණ්ඩව දෙවැනි වරටත් කොටස්හිමි සේවකයින්ට ලාභාංශ ගෙවීමට සමාගම තීරණය කර ඇති බව ද එහිදී සමාගමේ සභාපති ඩැරල් වේඩ් මහතා ප්‍රකාශ කළේය. ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක Intrepid සාමාජිකයින් 555ක් ඇතුළත්  ය. ඊට අතිරේකව, තෝරාගත් සේවකයින් වෙත බෝනස් ගෙවීම් සහ කොටස් ලබාදීමට සමාගම තීරණය කරඇති බව ද එහිදී නිවේදනය කෙරුණි.

මේ අතර 2024 වසරේ සියලු ආයතනික ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් Intrepid කණ්ඩායමට ප්‍රශංසා කිරීමට ද Intrepid ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්න්ටන් මහතා මෙය අවස්ථාවක් කරගත්තේය. මේ මස අවසානයේ පළකිරීමට නියමිත සමාගමේ වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන ප්‍රතිඵල ද සමඟ, සමාගමේ අනාගත වර්ධන සැලසුම් ද ඔහු මෙහිදී බෙදාගත්තේය. සමාගමේ අනාගත නායකයින් බිහිකිරීම වෙනුවෙන් ඉදිරියේදී කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිත ය. සමාගමේ පළමු ප්‍රධාන අලෙවි නිලධාරියා ලෙස පත්වීම් ලද හේසල් මැක්ගයර් මහත්මියගේ දායකත්වය සමඟින් ගෝලීය අලෙවි සහ වර්ධන ක්‍රමෝපාය තුළින්, Intrepid ගෝලීය සන්නාමයක් ලෙස තවදුරටත් ඉහළට ඔසවා තැබීමට ද අපේක්ෂා කෙරේ. ඇය දැනට එක්සත් රාජධානියේ මැක්ගයර්ගේ හි විකුණුම් සහ අලෙවි සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරන අතර, ඇයගේ නව පත්වීම ද ගෝලීය කුසලතා අත්පත්කරගැනීම සඳහා සමාගම සතු සක්‍රීය වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයකි.

Intrepid ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම නිමිත්තෙන් “Hello Zero” ලෙස නම්කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගෙන අලියෙකුගේ මූර්තියක් නිර්මාණය කිරීමට ද Zero Plastic Movement කටයුතු යොදාතිබුණි.

ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය තුළින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට සහ වනජීවීන්ට සිදුවන හානිය පිළිබඳ සමාජ දැනුවත්භාවය වැඩිකිරීම වෙනුවෙන් කළ මෙම නිර්මාණය, BMICH හිදී නිරාවරණය කෙරුණි.

″ගෝලීය මට්ටමේ විශිෂ්ට සමුළුවක් සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් Intrepid ශ්‍රී ලංකා කණ්ඩායමට මාගේ කෘතවේදීත්වය හිමිවෙනවා. අපේ ගෝලීය කණ්ඩායම තුළ Intrepid ශ්‍රී ලංකා කණ්ඩායම සුවිශේෂ දායකත්වයක් සපයන අතර, අපගේ පාරිභෝගිකයින් ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විශාල කැමැත්තක් දක්වනවා″, යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්න්ටන් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ආයෝජනය කිරීමට Intrepid සමාගම සැලසුම් කරඇති අතර, වර්ෂ 2030 වනවිට ත්‍රාසජනක සංචාරකයින් 15,000කට වැඩි පිරිසක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ගෙන්වීමට ද සමාගම අපේක්ෂා කරයි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව