Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Intrepid-Travel-Melbourne-Global-Summit-2024-Fed-Square-Summit-Day-32 (LBN)

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය, සිය වාර්ෂික ගෝලීය සමුළුවට කොළඹ නගරය තෝරාගනී

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ.
 



 
2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ Intrepid Travel කාර්යාලය මේ වනවිට කටයුතු කරයි. ඊට 276ක ඍජු කාර්යාල කාර්යමණ්ඩලයක් සහ 45ක දේශීය සංචරණ මඟපෙන්වන්නන් කණ්ඩායමක් ඇතුළත් ය. එබැවින් සමාගමේ ගෝලීය වාර්ෂික සමුළුව පැවැත්වීමේ පූර්ණ හැකියාවක් කොළඹ කාර්යාලය සතු ය.

Intrepid ගෝලීය සමුළුව 2025 පෙබරවාරි 24 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක පිහිටි සමාගමේ කාර්යාල 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන 200කට අධික ජාත්‍යන්තර සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. තව ද, Intrepid Travel සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සම-නිර්මාතෘවරු, ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම සහ 300කට වැඩි දේශීය කාර්යමණ්ඩලය ද සම්බන්ධ වීමට නියමිත ය.

දින හතරක් පුරා පැවැත්වෙන සමුළුවට, ක්‍රමෝපායික සාකච්ඡා, නායකත්ව වැඩමුළු, දේශීය ප්‍රජා සහභාගීත්වය සහිත වැඩසටහන් මෙන්ම නිරීක්ෂණ සංචාර ද ඇතුළත් ය. Intrepid සමාගම සිය ව්‍යාපාර කටයුතුවලට නායකත්වය ලබාදීම වෙනුවෙන් කාර්යමණ්ඩලයට ප්‍රමුඛ වගකීමක් හිමිවන ආකාරයේ ශක්තිමත් සහ ඍජු දායකත්වයක් සහිත ආයතනනික සංස්කෘතියක් පවත්වාගෙන යයි. ඒ අනුව මෙවර සමුළුවේ ක්‍රියාකාරකම් තුළින් එම පුළුල් අරමුණු ද සාක්ෂාත් කරගැනීමට හැකිවනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහභාගී කරවාගැනීම තුළ ගෝලීය කණ්ඩායම් සවිබලගැන්වීම සහ සමාගමේ ආසියානු ව්‍යාප්තිය වැඩිකිරීමට ඇති වුවමනාව ද හොඳින් පෙන්නුම් කෙරේ.

2024 ශ්‍රී ලංකා ජාතික සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම ළබැඳි සහකරු සම්මානය දිනාගැනීමට Intrepid සමාගම සමත්වීම ද තවත් විශේෂත්වයකි. එම සම්මාන උළෙලේදීම හොඳම තිරසර භාවිතාවන් සඳහා නිර්දේශිත අවසන් සමාගම් අතරට ද Intrepid සමාගම නම්වී තිබුණි.

″ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට අප සමාගමේ ප්‍රධානම කාර්යාලයක් බවට පත්ව අවසන්. අපේ පාරිභෝගිකයිනුත් මෙම විශිෂ්ට සහ සුන්දර දිවයින නැරඹීමට මහත් රුචිකත්වයක් දක්වනවා″, යනුවෙන් Intrepid Travel සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්ටන් මහතා පැවසුවේය. ″ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ දැක්ම හුදෙක් සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට විහිදී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තිරසර වර්ධනය සමඟ අර්ථාන්විත සහ ස්ථීරසාර බලපෑමක් ඇතිකිරීම අපේ අරමුණයි. අපගේ පාරිභෝගිකයින් අතුරින් බොහෝදෙනෙක් ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරාගැනීම තුළින් ශ්‍රී ලංකාව සතු දැවැන්ත විභවතාව හඳුනාගත හැකියි. එහිදී දේශීය ප්‍රජාවත් මෙම සාර්ථකත්වයේ පංගුකාරයෙක් කරගැනීමට අපි සහතික වෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ගෙනයන අතර දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවට සහාය වීමට හැකිවීම ගැනත් අපි බෙහෙවින් සතුටට පත්වෙනවා″, යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2024 වසරේදී Intrepid Travel සමාගම ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් 4,000කට වැඩි ප්‍රමාණයක් ගෙන ආ අතර, එය 2023 වසරට සාපේක්ෂව 206%ක වර්ධනයකි. එමෙන්ම එය කොවිඩ්-19 කාලයට පෙර පැමිණි ප්‍රමාණය ද ඉක්මවායෑමකි. වර්ෂ 2030 වනවිට සංචාරකයින් 15,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සමාගම සැලසුම් සකස්කර තිබේ. ඒ හරහා මෙරට දේශීය ප්‍රජාවට, සංචාරක මඟපෙන්වන්නන්ට මෙන්ම දේශීය ව්‍යාපාරවලට ද ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවනු ඇත.

″අපගේ ගෝලීය නායකත්ව කණ්ඩායම මෙන්ම ගෝලීය සගයින් ද කොළඹදී පිළිගැනීමට ලැබීම අපට විශාල ප්‍රීතියක්. එය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ආකර්ෂණ විදහා දැක්වීමටත්, අපගේ සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කිරීමටත් කදිම අවස්ථාවක්. ඒ සියල්ල අතරේ අප සමාගමේ දැවැන්තම වාර්ෂික හමුවීම අපේ රටේ පැවැත්වීමට හැකිවීමත් අප ලද භාග්‍යයක්″, යනුවෙන් Intrepid Travel සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා පැවසුවේය.

ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස යළි පිබිදෙමින් සිටින ශ්‍රී ලංකාවට, Intrepid Travel සමාගමේ ගෝලීය සමුළුව සංවිධානය කිරීමේ අවස්ථාව හිමිවීම ද මෙරට සංචාරක කර්මාන්තයේ පිබිදීමට දැවැන්ත පිටිවහලක් වනු නිසැක ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව