Intrepid සහ MDF එක්ව සංචාරක ව්‍යාපාරයේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගන්වයි

1- Participants and Intrepid team (LBN)

Intrepid Travel සමාගම, Market Development Facility (MDF) ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිය ‘සංචාරක ව්‍යාපාරයේ කාන්තාවෝ‘ වැඩසටහන යටතේ තවත් විශේෂ වැඩමුළුවක් සාර්ථකව නිමාකිරීමට සමත්විය. ‘සංචාරක ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය‘ මෙම වැඩමුළුවේ තේමාව විය.

ඉකුත් අප්‍රේල් 5වැනිදා මහනුවරදී පැවැත්වුණු මෙම වැඩමුළුවට මධ්‍යම පළාත නියෝජනය කරමින්  තිරසර සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින කාන්තා ව්‍යවසායිකාවෝ 15 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත සැපයුම් දාමය තුළ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව වර්ධනය කිරිම සහ කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් Intrepid Travel සමාගම දියත්කර ඇති මේ වැඩසටහන පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ විය.
 



 
දැනටමත් සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින මධ්‍යම පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අත දීම මෙවර වැඩමුළුවේ අරමුණ විය.

“මෙම වැඩමුළුව නව දැනුම ලබාගැනීමටත්, හුවමාරු කරගැනීමටත් එකට එක්ව දියුණු වීමටත් කදිම වේදිකාවක් සකස්කිරීමට සමත්වුණා, යනුවෙන් Intrepid Travel හි මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා ප්‍රකාශ කළේය. මෙවර අපේ අරමුණ වුණේ දැනටමත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අර්ථාන්විත දායකත්වයක් සපයන එහෙත් සම්පත් සපයාගැනීමේදී, ජාලකරණයේදී මෙන්ම පිළිගැනීම සම්බන්ධයෙන් විවිධ අභියෝගවලට මුහුණ දෙන ව්‍යවසායිකාවන්ට සහාය වීමයි. ඒ අනුව තමන් හා සමාන සෙසු ව්‍යවසායිකාවන් සමඟ සම්බන්ධවීමටත්, නායකත්ව සංවර්ධනයටත් මෙවැනි අවකාශයක් උදාකිරීම තුළින් වඩාත් ශක්තිමත් සංචාරක කර්මාන්තයක් බිහිකිරීමට අපට හැකිවෙනවා“, යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ව්‍යාපාරික උපායමාර්ග, විශ්වාසය නැංවීම, අලෙවිකරණය, සහ තිරසර සංචරණයේ නවෝත්පාදනය වැනි වැදගත් නායකත්ව සහ ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩමුළුවේ අන්තර්ගතය සකස්කර තිබීම විශේෂත්වයකි. තව ද සහභාගීවූවන් අතර සබඳතා ගොඩනඟාගැනීමට ද එය කදිම වේදිකාවක් සැපයීය.

ඒ අනුව වැඩමුළුවට සහභාගී වූ සියලු දෙනාටම තම ව්‍යාපාර ඉදිරියට මෙහෙයවීම පිළිබඳ වැඩි අවබෝධයක් මෙන්ම ආත්ම විශ්වාසයක් ද පිරිනැමීමට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාවේ සංචරක කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තමන්ට ලබාදිය හැකි සුවිශේෂී දායකත්වය පිළිබඳ විශ්වාසයක් ද ඔවුන් තුළ ජනිත කරවීමට ඊට හැකිවිය.

″Intrepid සමාගම සමඟ අපගේ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ අපි මහත් සේ සතුටට පත්වෙනවා. ඉකුත් වසරේ මහනුවරදී අපගේ සංචාරක මාර්ගෝපදේශක පුහුණු වැඩසටහන ආරම්භ කිරීමෙන් අනතුරුව අත්දැකීම් සැපයීමේ පුහුණුව දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සංචාරක කර්මාන්තයේදී MDF හි ප්‍රමුඛතාවක් වන්නේ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් සලසා දීමයි. Intrepid සමාගම සමඟ පවතින මෙම සහයෝගීතාව ඊට හොඳින් ගැලපෙනවා. මධ්‍යම පළාතේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර ඉලක්ක කරගත් මෙම වැඩමුළුව ඊට කදිම නිදසුනක්. ඉදිරියේදී රටේ සෙසු පළාත්වලටත් Intrepid සමාගම සමඟ එක්ව මෙම වැඩමුළුව ගෙයමින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට MDF කැපවී ක්‍රියාකරනවා″, යනුවෙන් MDF හි මෙරට අධ්‍යක්ෂ මාරියම් පිරාචා පැවසුවාය.

″Intrepid සමාගම මෙන්ම සංචාරක කර්මාන්තය තුළ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී මුහුණ පාන ඊටම අනන්‍ය වූ අභියෝග පිළිබඳ මනා වැටහීමක් ඇති සෙසු කාන්තා ව්‍යවසායිකාවන් සමඟ සම්බන්ධ වීම ලැබුණු අවස්ථාව ඉතාම ප්‍රයෝජනවත්. අපගේ ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට වටිනා උපදෙස් සහ දැනුම මෙම වැඩමුළුවෙන් අපට ලැබුණා. විශේෂයෙන්ම අපට පමණක් නොව සමස්ත ප්‍රජාවටත් පරිසරයටත් පොදුවේ රටටමත් ප්‍රතිලාභ උදාවන තිරසර භාවිතාවන් ගැන මෙහිදී හොඳ අවබෝධයක් අපට ලැබුණා. එනිසා මෙම අවස්ථාව උදාකරලීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා″ යනුවෙන් වැඩමුළුවට සහභාගී වූ එක් ව්‍යවසායිකාවක් ප්‍රකාශ කළාය.

වැඩමුළුවට සහභාගී වූ ව්‍යවසායිකාවන්ට ඉදිරියේදී Intrepid සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ද, එමඟින් වැඩි වෙළෙඳපොළ අවස්ථා, කර්මාන්ත ජාලකරණය, සංචාරක ව්‍යාපාර හවුල්කරුවන් සහ රජයේ පාර්ශ්වකරුවන් සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව ද උදාවනු ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය 10%කටත් අඩු ය. එහිදී නායකත්ව තනතුරු සහ ව්‍යවසාය හිමිකාරීත්ව මට්ටම අතින් කාන්තා නියෝජනය තවත් අඩු ය.  එවන් පසුබිමක මෙවැනි සහායක් හිමිවීම තුළින් සංචාරක කර්මාන්තයේ කාන්තා නියෝජනය තීරණාත්මක ලෙස වැඩිකිරීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලත් මීට සමාන වැඩමුළු සංවිධානය කිරීමේ අරමුණ “Women in Tourism”  සතුය. අනාගත සංචාරක මඟපෙන්වන්නන්ගේ  හෝ ව්‍යවසායිකාවන්ගේ කුසලතා දියුණු කිරීම හෝ  අංශයෙන් ආදර්ශ පුහුණු වැඩසටහන් මාලාවක් ලෙස මෙම මුලපිරීම ජනප්‍රිය වී තිබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව