Intrepid සමාගම, 2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙලේදී සම්මාන දිනයි

2- The Intrepid team (LBN)

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරණ සමාගමවන Intrepid Travel පසුගියදා පැවැති 2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙලේදී (Sri Lanka Tourism Awards 2024) සංචාරක මෙහෙයුම්කරුවන් කාණ්ඩය යටතේ හොඳම ගමනාන්ත ළබැඳි සහකරු (Best Destination Loyal Partner) සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය. තව ද සුවිශේෂී සංචරණ සේවා ආශ්‍රිත හොඳම තිරසර භාවිතාවන් සඳහා පිරිනැමෙන සම්මානයට ද සමාගම නිර්දේශවීම කැපීපෙනුණි. තිරසරබව පදනම් කරගත් සිය සංචාරක මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සමාගම දරන වෑයම මෙමම සම්මාන බුහුමන් හරහා මැනවින් පිළිබිඹු වේ.
 



 
2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙල දෙසැම්බර් 20 වැනිදා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණි. විවිධ ගෝලීය අභියෝග හමුවේ නොසැලෙමින් මෙරට සංචාරක කර්මාන්තයේ පිබිදීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ව්‍යාපාර සහ පුද්ගලයින් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍රවිය. ඒ අනුව Intrepid Travel සමාගම ද ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ස්වභාවික උරුම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සහ තිරසර සංචාරණය වෙනුවෙන් දරන දායකත්වය ඇගයීමට ලක්විය.

හොඳම ගමනාන්ත ළබැඳි සහකරු සම්මානය දිනාගැනීම තුළින් මෙරට අසමසම සෞන්දර්යය, සංස්කෘතික විවිධත්වය සහ සාරවත් උරුමය අත්විඳගැනීම වෙනුවෙන් දහස් ගණනක් ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කරගනිමින් දිගුකාලයක් පුරා පවත්වාගෙන යන ළබැඳි සම්බන්ධතාව පිළිබිඹු වේ. සමාගම මගින් විදෙස් සංචාරකයින්ට සපයනු ලබන ශ්‍රී ලංකාවේ ගමනාන්ත පැකේජයට සැබෑ දේශීය අත්දැකීම් මුසුකරගත් නවමු ක්‍රියාකාරකම් ඇතුළත්වන අතර, එමගින් දේශීය ප්‍රජාවට ආර්ථික ප්‍රතිලාභ සැලසෙන අතර පරිසර ආරක්ෂණයට ද වැඩි අවධානයක් යොමුවේ.

″මෙම සම්මාන බුහුමන් හරහා ශ්‍රී ලංකාව තුළත් ගෝලීය වශයෙනුත් අපගේ සේවකයින්ගේ විශිෂ්ට උත්සාහය ඇගයීමට ලක්කෙරෙනවා. වෙසෙසින්ම, තිරසර සංචාරණය මෙන්ම දේශීය ප්‍රජාව සමඟ සැබෑම සබඳතා ගොඩනඟාගැනීමට අප සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කෙරෙනවා. එමගින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළට ඔසවා තැබීමටත් අපට හැකිව තිබෙනවා. හුදෙක් සංචාරකයින්ට අගනා සංචරණ අත්දැකීම් සමීප කිරීමෙන් ඔබ්බට ගොස් ඒ ඒ ගමනාන්ත ආශ්‍රිත පුද්ගලයින් සහ ස්ථාන හා බැඳුණු සදාතනික මතකයක් සංචාරකයින්ට පිරිනැමීම අපේ අරමුණයි″, යනුවෙන් මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින්  Intrepid Travel හි ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නැටලි කිඩ් ප්‍රකාශ කළාය.

2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ප්‍රගතියක් වාර්තා කිරීමට Intrepid Travel සමාගමට හැකිවිය. එනම්, 2024 වසරේදී විදෙස් සංචාරකයින් 4,000කට වැඩි පිරිසක් දිවයින වෙත ගෙන්වා ගැනීමට සමාගමට හැකිවූ අතර, එය 2023 වසරට සාපේක්ෂව 209%ක විශාල වර්ධනයකි. එය කොවිඩ් වසංගතයට පෙර පැවැති සංචාරක පැමිණීම් ද අභිභවා යෑමකි. 2030 වසර වනවිට සංචාරකයින් 15,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ ඉලක්කය සමඟින් කටයුතු කරන සමාගම 2025 වසරේදී ත්‍රාසජනක සංචාරක ක්‍රියාකාරකම් වෙනුවෙන්  කුඩා සංචාරක කණ්ඩායම් 550කට වැඩි සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරයි. එය 2024 වසරට සාපේක්ෂව 75%ක ඉහළ ඉලක්කයකි. මේ සියල්ල හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට සමාගම විශාල දායකත්වයක් සපයයි.

″මෙසේ 2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍රවීම අපට විශාල අභිමානයක්. මෙය ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස අපගේ පාරිභෝගිකයින්ට හඳුන්වාදෙමින් වැඩි සංචාරක පිරිසන් මෙරටට ගෙන්වා ගැනීමටත්, දේශීය ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීමටත්, තිරසර සංචරණ භාවිතාවන් අනුගමනය කිරීමටත් අපගේ අඛණ්ඩ කැපවීමේ පිළිබිඹුවක් ලෙස සැලකීම නිවැරදියි″, යනුවෙන් Intrepid Travel සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා පැවසුවේය.

Intrepid Travel සමාගම, Zero Plastic Movement සමඟ එක්ව දියත්කර ඇති ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීමේ ක්‍රියාන්විතය සමාගමේ යහපත් සාමාජීය බලපෑමට නිදසුනකි. ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අනුමැතියට යටත්ව Market Development Facility වැඩසටහන සමඟ එක්ව මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තාවන් සවිබලගැන්වීම සහ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය වෙනුවෙන් ද සමාගම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. සංචාරක කර්මාන්තය මගින් දේශගුණික විපර්යාස කෙරෙහි ඇති බලපෑම සැළකිල්ලට ගනිමින් මෙරට තුළ සංචාරක අවශ්‍යතා වෙනුවෙන් විද්‍යුත් වාහන භාවිතයට ද සමාගම පෙරමුණ ගෙන තිබේ. මීට අමතරව Pekoe Trail නව සංචාරක ගමනාන්ත වැඩසටහනට ද ප්‍රමුඛ සහකරුවෙකු ලෙස සමාගම සම්බන්ධ වී සිටින අතර, ශ්‍රී ලංකාව සංචාරකයින් වෙත හඳුන්වාදී ඇති නවමු අත්දැකීම් ලෝකයට ගෙනයාමටත්, තිරසර වැඩසටහන් වැඩිදියුණු කිරීමටත් එමගින් දායක වේ.

Intrepid Travel යනු රටවල් 100කට වැඩි සංඛ්‍යාවක පැතිර ඇති ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරණ සමාගමයි. ත්‍රාසය වෙනුවෙන් සංචාරය කරන්නන්ට මෙන්ම සංස්කෘතික උරුමයන් පිළිබඳ ලැදියාව ඇති සහ පරිසර හිතකාමී සංචාරකයින් වෙනුවෙන් ද සුවිශේෂී සංචාරක පැකේජ සමාගම විසින් ඉදිරිපත් කරනු ලබයි. යහපත වෙනුවෙන් මෙහෙයවනු ලබන, ප්‍රජාව සවිබලගන්වන සහ පරිසර ආරක්ෂණයට දායකවන ව්‍යාපාර ආයතනයක් ලෙස සමාගම ක්‍රියාත්මක වේ.

Intrepid Travel සමාගමේ ප්‍රමුඛතම කාර්යාලයක් ලෙස කොළඹ කාර්යාලය සැලකෙන අතර, එහි 250කට අධික කාර්යමණ්ඩලයක් සේවය කරන අතර, 35කට වැඩි දේශීය සංචාරක මඟපෙන්වන්නන් ප්‍රමාණයක් ද සම්බන්ධ වී සිටියි. සමාගමේ කළමනාකාරීත්වයේ තුනෙන් එකකට වැඩි පිරිසක් කාන්තාවන් වීම ද විශේෂත්වයකි. විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මකවන කොළඹ කාර්යාලය, සමාගමේ ගෝලීය මෙහෙයුම්වලට ද දායකවන අතර, අංග සම්පූර්ණ ගමනාන්ත කළමනාකරණ සමාගමක් ලෙස කටයුතු කරයි.

2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙලේදී ලබාගත් මෙම ජයග්‍රහණය තුළින් තිරසර සංචරණය වෙනුවෙන් සමාගමේ කැපවීම සහ ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට එහි අභිප්‍රාය ද පෙන්නුම් කෙරේ. සංචාරක කර්මාන්තයේ තිරසර වර්ධනයට දායකවන අතර වගකීම් සහගත ලෙස ලෝකය අත්විඳීම වෙනුවෙන් සංචාරකයින් උනන්දු කරවීමට ද සමාගම ප්‍රමුඛ අවධානයක් යොමුකරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව