Intrepid ශ්‍රී ලංකාවේ කාර්යමණ්ඩලය දෙගුණ කරමින් මෙරට ආයෝජන තවදුරටත් පුළුල්කරයි

1 - Intrepid - James (LBN)

 



 

 

ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගම, 100%ක කාර්යමණ්ඩල වර්ධනයක්, නව බඳවාගැනීම් සහ උපාධිධාරී වැඩසටහනක් සමඟ ශ්‍රී ලංකාව තුළ තම ආයෝජනය දෙගුණ කරයි

2023 අප්‍රේල් 26- කොළඹ, ශ්‍රී ලංකාව – ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමවන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්යමණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් තම මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. මේ සමඟ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ සංචාරක මඟපෙන්වන්නන් 230කට වැඩි බලකායක් සමඟින් ගෝලීය වශයෙන් එහි විශාලතම කාර්යමණ්ඩලය බවට කොළඹ කාර්යමණ්ඩලය පත්වීම කැපීපෙනේ.

ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව හටගත් දේශපාලනික සහ ආර්ථික අභියෝග හමුවේ ඇතැම් බහුජාතික සමාගම් මෙරට තුළ තම ආයෝජන හකුළා ගත් පසුබිමක, මෙය ඉතාමත් සාධනීය එළඹුමක් ලෙස ද හඳුන්වාදිය හැක.

මේ වසර තුළ සිය කොළඹ කාර්යමණ්ඩලය වෙනුවෙන් අතිරේක රැකියා අවස්ථා 30ක් පමණ නිර්මාණය කිරීමට ද Intrepid Travel ආයතනය සැලසුම් කර ඇත. ඒ අනුව, ඉංජිනේරු, තාක්ෂණික නිර්මාණකරණ, මානව සම්පත්, මූල්‍ය සහ පාරිභෝගික සේවා යන අංශ ඔස්සේ නව රැකියා අවස්ථා බිහිවීමට නියමිත ය.

මීට අමතරව 2023 වසරේදී උපාධිධාරී ආධුනිකත්ව පුහුණු වැඩසටහනක් ද දියත් කිරීමට සමාගම සූදානමින් සිටියි. එම පුහුණු වැඩසටහනට එක්වන උපාධිධාරීන්ට දීමනාවක් ද හිමිවීම මෙහි තවත් විශේෂත්වයකි. The Intrepid Colombo Future Leaders program යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහනට උපාධිධාරීන් 15 දෙනෙකු මේ වසර තුළ සම්බන්ධ කරගැනීමට නියමිත අතර, ඔවුහු සමාගමේ විවිධ අංශවල මාස 6ක පුහුණුවක් ලබනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් Intrepid සමාගම සතු සුබවාදී අපේක්ෂා තවදුරටත් පිළිබිඹු කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන කාර්යාලයේ සිට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්න්ටන් මහතා සහ ඔහුගේ ප්‍රධාන කළමනාකාරීත්ව කණ්ඩායම ද මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර මෙරට Intrepid කාර්යමණ්ඩලය හමුවීම එම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ප්‍රධාන තාක්ෂණික නිලධාරී අනූ කරුණාතිලක සහ ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ නැටලි කිඩ්, Intrepid සමාගමේ කොළඹ කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

″අපගේ කණ්ඩායමේ වර්ධනය සහ ජයග්‍රහණ සැමරීම සඳහා නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන මම මහත් සේ සතුටු වෙනවා. ශ්‍රී ලංකාව තුළ සේවය කිරීම සඳහා සුදුසුම ආයතන අතරින් එකක් වගේම, කාන්තාවන්ට සේවය කිරීමට සුදුසුම ආයතනයක් බවට පත්වීම ගැනත් Intrepid සමාගම බෙහෙවින් ආඩම්බර වෙනවා″, යනුවෙන් තෝර්න්ටන් මහතා ප්‍රකාශ කළේය.

Intrepid හි මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දෙල්පචිත්‍ර මහතා අදහස් දක්වමින් පැවසූයේ, කොවිඩ් වසංගතය සහ දේශපාලන අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමානුකූලව පිබිදෙමින් පවතින මොහොතක Intrepid ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙරට සංචාරය කිරීම ඉතාමත් වටිනා අවස්ථාවක් බව ය. ″Intrepid සමාගමේ අරමුණ වන්නේ පුද්ගලයින් එකට එකතු කරමින් වෙනස් සංස්කෘතීන් සහ අත්දැකීම් හුවමාරු කරගැනීමයි. එම නිසා අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම මට විශාල ගෞරවයක්. සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු දෑ ලෝකයට ඉදිරිපත් කිරීමට අපි ඉතා උද්‍යෝගයෙන් යුතුව බලාසිටිනවා. Intrepid හි අප සියලු දෙනාට අවශ්‍ය නැවතත් සංචාරකයින් අපේ රට නැරඹීමට පැමිණෙනු දැකීමයි. ඒ තුළින් තවදුරටත් අපේ රටේ ජනතාවට සහාය වීමටත්, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය තුළ නව රැකියා බිහිකිරීමටත් අපට හැකිවේවි″, ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Intrepid සමාගමේ තවත් විශේෂත්වයක් වන්නේ තම ව්‍යාපාර මෙහෙයුම්වලදී පරිසර හිතකාමීත්වයට මුල් තැනක් දීම ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ තම සංචාරවලදී බහුල වශයෙන් විද්‍යුත් වාහන භාවිත කිරීමට සමාගම පෙළඹී සිටියි. විශේෂයෙන්ම ගුවන්තොටුපොළේ සිට හෝටල් දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමේදී නිරන්තරයෙන්ම විද්‍යුත් වාහන භාවිත කරන අතර, 2022 වසරේදී සම්පූර්ණයෙන්ම විද්‍යුත් වාහනවලින් සමන්විත සංචාර දෙකක් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීමට ද සමාගමට හැකිවිය.

ඊට අමතරව Zero Plastic ආයතනය සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් අතර චර්යාත්මක වෙනසක් ඇතිකිරීමටත්, ඉවතලන ප්ලාස්ටික් භාවිතයෙන් ප්‍රතිචක්‍රීයකරණ නිෂ්පාදන සිදුකිරීමට දේශීය ව්‍යවසායකයින්ට සහාය වීමටත් Intrepid Foundation හරහා, සමාගම පියවර ගෙන තිබේ.

Intrepid හි මෙරට වර්ධනයේ ප්‍රධාන කාර්යභාරය පැටවී ඇත්තේ තාක්ෂණික සහ අනෙකුත් සහාය සේවා අංශවලට ය. කෙසේ නමුත් ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගම වශයෙන් අන්තර්ජාතික අලෙවිකරණ වැඩසටහන් දියත් කිරීම මගින් ද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීමට සමාගම පූර්ණ වශයෙන් කැපවී සිටියි.

සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 12%ක පංගුවක් හිමි මෙරට සිව්වැනියට විශාලතම විදෙස් විනිමය ඉපැයුම් ක්ෂේත්‍රය යි.

Intrepid ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් සංචාරක පැකේජ 12ක් ඉදිරිපත් කරන අතර, 2019 වසරේදී ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහා සංචාරකයින් 3,500ක් මෙරටට ගෙන්වීමට සමත්විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව