INSEE සිමෙන්ති ‘2022 ජ්‍යෙෂ්ඨත්ව සම්මාන’ උළෙලේ දී සිය ජ්‍යේෂ්ඨයින් සමරයි

695A1624 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්‍යේෂ්ඨත්වය සහ ආයතනික වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ‘ජ්‍යෙෂ්ඨත්ව සම්මාන’ උළෙලේ 2022 වසරට අදාළ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  මෙහි දී වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් INSEE සිමෙන්ති සමාගම වෙනුවෙන් කැප වෙමින්, සාර්ථකව සිය සේවා කාලය ගත කළ නිෂ්පාදන, විකුණුම්, ප්‍රසම්පාදන, සැපයුම් හා මූල්‍ය යන අංශවල සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 දෙනෙකුට ඇගයීම් සම්මාන පිරිනැමිණි.

‘INSEE ජ්‍යෙෂ්ඨත්ව සම්මාන 2022’ උළෙලට INSEE සිමෙන්ති සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා ප්‍රධාන මහජන නිලධාරිණී තිලංකා සිල්වා යන මහත්ම මහත්මීහු ප්‍රධාන, විධායක කළමනාකරණ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් ඒකනායක මහතා සඳහන් කළේ, INSEE ජ්‍යෙෂ්ඨත්ව සම්මාන මගින් සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්‍යේෂ්ඨත්වය මෙන් ම එම කැපවීමට සහයෝගය ලබා දුන් ඔවුන්ගේ පවුල්වල සාමජික සාමාජිකාවන් ද ඇගයෙන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා, “INSEE සිමෙන්ති සමාගමේ අපි ගොඩනඟන්නේ ජීවිතයයි. ඒ නිසා ම INSEE සමාගම වෙනුවෙන් වගේ ම අපගේ ආයතනික අරමුණ වෙනුවෙන් තම ජීවිතය කැප කළ සේවක සේවිකාවන් අපි නිරන්තරයෙන් අගයනවා. මෙම සම්මාන ප්‍රදානය මගින් INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන් සමඟ ගොඩනඟාගෙන තිබෙන අද්විතීය සබඳතාව වගේ ම ආයතනය හා සේවක සේවිකාවන් අතර පවතින අන්‍යොන්‍ය විශ්වාසයත් පෙන්නුම් කරනවා.  මේ වසරේ ජ්‍යෙෂ්ඨත්ව සම්මාන දිනූ සියලු ම දෙනාට ගෞරවණීය සුබපැතුම් එක් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් පැවසුවේය.

මෙවර සම්මානලාභීන් 20 දෙනාගෙන් 7 දෙනෙකු ම INSEE සිමෙන්ති පවුල සමඟ දශක 3කට වැඩි කාලයක් පුරා අත්වැල් බැඳගනිමින් සේවය කරන සේවක සේවිකාවන් වන අතර, ඔවුන්ගේ එම සේවා කාලය ආයතනය ක්‍රියාත්මක වන කාලසීමාවෙන් හරි අඩකටත් වඩා වැඩි කාලයක් බව සිහිපත් කළ යුතු ම ය. ආයතනය සතු මානව ප්‍රාග්ධනයේ වටිනාකම සහ කැපවීමෙන් අනූන, දිගුකාලීන සේවා කාලයක ඇති වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන මහජන නිලධාරිණී තිලංකා සිල්වා මහත්මිය සඳහන් කළේ, “INSEE සිමෙන්ති සමාගම තුළ සුවිශේෂී ආයතනික සංස්කෘතියක් තිබෙනවා. සේවක සේවිකාවන් දිගු කාලයක් අප සමඟ බැඳීම, INSEE සිමෙන්ති සමාගම සතු යහපත් ආයතනික පරිසරයට වගේ ම සමාගම තම සේවක සේවිකාවන්ට දක්වන සැලකිල්ල සහ ඔවුන් තුළ සමාගම ගැන තිබෙන විශ්වාසයටත් හොඳ ම උදාහරණයක්. වසර 30කට වැඩි කාලයක් අප සමඟ බැඳී සිටින සේවක සේවිකාවන් ඇත්ත වශයෙන් ම අපට මහත් අභිමානයක්.” යනුවෙනි.

“ආරම්භයේ සිට ම, අපි අපගේ සේවක සේවිකාවන් වෙනුවෙන් කැප වුණා. ඒ වගේ ම ඔවුන් සමාගමේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා. අපි ගොඩනඟාගත් ජයග්‍රාහී සබඳතා නිසා ම අන්‍යොන්‍ය වශයෙන් ජය ගැනීමට අපට හැකි වෙලා තිබෙනවා. ඒ වගේ ම INSEE සිමෙන්ති සමාගම සිය සේවා ස්ථානය තුළ ආරක්ෂාව, ආචාර ධර්ම සහ විවෘතභාවය පිළිබඳ ඉහළ ම ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන නිසා ම බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙන සේවා යෝජකයෙක් බවට පත්වීමට හැකි වෙලා තිබෙන බවත් පැවසිය යුතු ම යි. INSEE සිමෙන්ති ජීවිතය ගොඩනඟමු කියන තේමාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන නිසා ම මානව සබඳතාවලට මූලිකත්වය ලබා දෙනවා. INSEE ජ්‍යෙෂ්ඨත්ව සම්මාන ඒ සඳහා හොඳ ම උදාහරණයක් ” යනුවෙන් තිලංකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව