ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, වසර 20කට වැඩි කාලයක් තම ආයතනය තුළ සේවය කළ ජ්‍යෙෂ්ඨ සේවකයින් වෙනුවෙන් ප්රණාම පුදන වාර්ෂික සම්මාන උළෙල පසුගියදා චාම් නමුත් අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙම සම්මාන උළෙල සංවිධානය කිරීමේ මූලික අරමුණ වූයේ, සේවකයින් දීර්ඝ කාලයක් පුරාවට සමාගම වෙනුවෙන් ඉටු කළ සේවාව ඇගයීම හා ඊට කෘතවේදීත්වය පළ කිරීම ය. ඒ අනුව INSEE සිමෙන්ති සමාගමේ සේවය කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 61 දෙනෙකුට මෙහිදී රන් පවුම් පිරිනැමුණි. එම සේවකයින් අතුරින් 40 දෙනෙකු අවුරුදු 20කට වැඩි සේවා කාලයක් ද, 15 දෙනෙකු අවුරුදු 25කට වැඩි සේවා කාලයක් ද INSEE සිමෙන්ති සමාගම තුළ සම්පූර්ණ කර තිබුණි.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා සෞඛ්යාරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම උත්සවය පැවැත්වුණේ අදියර දෙකක් යටතේ ය. එබැවින් උපහාර ලැබූ සේවකයින්ගේ පවුලේ සාමාජිකයින්ට ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සවයට සම්බන්ධ වීමේ අවස්ථාව උදාවිය. මෙම INSEE සාමාජිකයින්ගෙන් 24 දෙනෙක් පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාවට ද, 31 දෙනෙක් රුහුණු සිමෙන්ති කර්මාන්තශාලාවට ද තවත් 6 දෙනෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයට ද අනුයුක්තව සේවය කරති.
උත්සවය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ මහතා, ”අප සතුව ඉතාමත් දක්ෂ සහ පළපුරුදු කාර්යමණ්ඩලයක් සිටිනවා. දශක පහක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තය ඉදිරියට ගෙනයාමට ඔවුන්ට හැකිවී තිබෙනවා. එවන් පසුබිමකදී මෙවැනි දීර්ඝ සේවා ඇගයීම් සම්මානයක් ලැබීම අපගේ සේවකයින්ට විශාල පිළිගැනීමක් වගේම විශාල ආඩම්බරයක්. ඔවුන්ගේ කැපවීම සහ ආයතනයට ඇති බැඳියාව මෙසේ ඇගැයීමට අවස්ථාවක් හිමිවිම, පෞද්ගලිකව මටත් විශාල සතුටක්. මම ඔවුන්ට සුබ පතනවා. ඔවුන් INSEE සිමෙන්ති සමාගම තුළ ගත කළ කාලය ඉතාම තෘප්තිමත් සහ ප්‍රතිඵලදායක කාලයක් වූ බව මට විශ්වාසයි. ඒ වගේම ආයතනය සහ සේවකයින් තුළ ඇති විශ්වාසනීයත්වය හා කැපවීම මේ හරහා හොඳින් පිළිබිඹු වෙනවා” යනුවෙන් පැවසීය.
මේ අතර රැස්ව සිටි පිරිස අමතමින් සමාගමේ ආයතන හා මානව සම්පත් අධ්යක්ෂ චන්දන විජයනාම මහතා පැවසුවේ, INSEE සමාගමේ ශක්තියත් අභිමානයත් එහි සේවකයින් බව ය. ”විශේෂයෙන්ම අපගේ කාර්යමණ්ඩලය සතු විනයගරුක බව නිසා මෙවැනි දුෂ්කර කාලසීමාවකදී වුවත් මෙම සම්මාන උළෙල සාර්ථකව සංවිධානය කිරීමට අපට හැකිවුණා. මෙම ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ වටිනා සේවය වෙනුවෙන් අපි කෘතවේදීත්වය පිරිනමන අතරේදීම, ඔවුන්ට දැවැන්ත ශක්තියක් වූ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් අපි ස්තූතිවන්ත වෙනවා”, යනුවෙන් විජයනාම මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සම්මානලාභීහු, සමාගමේ නිෂ්පාදන, ඇසුරුම් අංශ, අලෙවි, ප්‍රසම්පාදන හා ලොජිස්ටික්, නඩත්තු හා තත්ත්ව පාලන වැනි අංශ රැසක් නියෝජනය කිරීම ද කැපී පෙනුණි.