INSEE සිමෙන්ති සමාගම, පෙදරේරු ශිල්පීන්ගේ කුසලතා දියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජන සිදුකරයි

02 (1)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන පෙදරේරු ශිල්පීන් සවිබල ගැන්වීම සඳහා ‘INSEE සත්කාර’ නමින් සුවිශේෂී වැඩසටහනකට මුල පුරා තිබේ.

මෙම වැඩසටහන යටතේ වෘත්තීමය, සමාජයීය හා ආර්ථිකමය යන අංශවලින් පෙදරේරු ශිල්පීන්ගේ අනාගතය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ඉදිකිරීම් කර්මාන්තය හා මෙරට ආර්ථිකය ද වර්ධනය වනු ඇති බව INSEE සිමෙන්ති සමාගමේ පුරෝකථනය යි

“මෙම වැඩසටහන හරහා පෙදරේරු ශිල්පීන්ගේ කුසලතා නැංවීමටත්, සමාජ පිළිගැනීම වගේම ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීමටත් හැකිවෙනවා. එම නිසා නව කුසලතා, දනුම සහ හැකියාවන් සමඟ ඉදිකිරීම් කර්මාන්තයේ නව අවශ්‍යතාවන්ට සරිලන අලුත් පෙදරේරු ශිල්පීන් පිරිසක් බවට ඔවුන් පරිවර්තනය කරගැනීමේ හැකියාව උදාවෙනවා” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති යාන් කුනික් මහතා පැවසීය.

ඉදිකිරීම් කර්මාන්තය තුළ පවතින කුසලතා හිඟයට විසඳුම් වශයෙන් මෙසේ සහතිකලත් හා කුසලතා පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම INSEE සිමෙන්ති සමාගමේ අභිලාෂය වන අතර, මෙම වැඩසටහන යටතේ ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව පෙදරේරු ශිල්පීන්ට ජාතික වෘත්තිය සුදුසුකම් (NVQ) ලබාදීමට පියවර ගැනේ.

 

 




 

 

මීට අමතරව දින 120ක පෙදරරේරු අභ්‍යාසලාභී වැඩසටහනක් ද INSEE සිමෙන්ති සමාගමට ආරම්භ කර තිබේ. එම පුහුණුව හරහා සේවා ස්ථානයකදී ම වෘත්තිය පිළිබඳ නිසි හැදෑරීමක් ලබාගැනීමටත්, විශේෂ කුසලතා සමඟ ශ්‍රම බලකායට ඇතුළු වීමටත් ආධුනික පෙදරේරු ශිල්පීන්ට හැකි වේ.

මේ අතර අවුරුදු 16කට ආසන්න කාලයක් පුරා පෙදරේරු වෘත්තියේ නියැළී සිටින අඹතැන්න ප්‍රදේශයේ පදිංචි අජිත් කුමාර දිසානායක මහතා පවසන ආකාරයට INSEE සත්කාර වැඩසටහන හේතුවෙන් ඔහුගේ ජීවිතය තුළ විශාල පරිවර්තන රැසක් සිදුවී තිබේ. “මීට අවුරුදු පහකට පෙර INSEE සිමෙන්ති සමාගමත්, NAITA ආයනයත් එක්ව සංවිධානය කළ පුහුණු පාඨමාලාව මම අවසන් කළා. එහිදී මට NVQ තුන්වැනි මට්ටම ලබාගන්න පුළුවන් වුණා. ඒ පෙදරේරු වෘත්තිකයෙක් ලෙස මට ලැබුණු පළමු වෘත්තිය සහතිකයයි. එම පුහුණුවේදී වසර 10කටත් වඩා කාලයක් වෘත්තියේ නියැළීමෙන් නොලැබුණු විශාල දැනුමක් මට ලැබුණා. විශේෂයෙන්ම මගේ වෘත්තිය දිහා මම දකින ආකාරය පවා ඒ සමඟ වෙනස් වුණා. ඒ සමඟම ටයිල් වැඩත් ඉගෙන ගෙන මගේ ආදායම වැඩිකරගන්නත් මට හැකිවුණා” යැයි දිසානායක මහතා පැවසීය.

මේ අතර පෙදරේරු ශිල්පීන්ගේ කුසලතා ඔප් නැංවීමේ කාර්යභාරය තුළ තවත් පියවරක් ලෙස Mason Chats, Mason Meets හා INSEE Concrete Society (ICS) හි විශේෂිත සාමාජිකත්වය පිරිනැමීම හරහා ද, ඔවුන්ට වැඩි සමාජ පිළිගැනීමක් සමඟ නව ආදායම් මාර්ග සොයායෑමටත්, ව්‍යවසායකත්ව හැකියා දියුණු කරගැනීමටත් දිරිමත් කෙරේ. එමෙන්ම දිගු කාලයක් පුරා ICS සාමාජිකත්වය දරන පෙදරේරු ශිල්පීන්ට, ඔවුන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය ඇගැයීමේ වැඩසටහනක් ද ‘INSEE ගරු සර’ නමින් ක්‍රියාත්මක වේ.

තව ද පෙදරේරු ශිල්පීන්ගේ අනාගත මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ආබාධ, වෛද්‍ය හා හදිසි අනතුරු ආවරණ රැගත් පූර්ණ ජීවිත රක්ෂණ ආවරණයක් ඔවුන්ට හඳුන්වා දීමට ද INSEE සිමෙන්ති සමාගම ක්‍රියාකර තිබේ. ඒ ශ්‍රී ලංකා සේවක භාරකාර අරමුදල් මණ්ඩලය සමඟ සහයෝගීතාවයෙන් පෙදරේරු ශිල්පීන් වෙනුවෙන් ආරම්භ කළ විශ්‍රාම වැටුප් ක්‍රමයට අමතරව ය.

“මම INSEE පුහුණු වැඩසටහන හා එක්වුණේ මීට වසර පහකට පමණ පෙරාතුවයි. ඒ හරහා නොසිතූ විදිහේ ප්‍රතිලාභ රැසක් මට හිමිවුණා. මම ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳ දැනුම වැඩිකරගත්තා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මගින් හඳුන්වා දී ඇති ප්‍රමිතීන් පිළිබඳවත්, ආරක්ෂිත ක්‍රමෝපාය ගැනත් ඉගෙන ගත්තා. අවසානයේදී වඩා සාර්ථක පෙදරේරු වෘත්තිකයෙකු වීමටත්, ඒ නිසාම පාරිභෝගිකයන්ගෙන් වැඩි ගෞරවයක් ලබන්නත් මට හැකිවුණා”, යනුවෙන් මහනුවර ප්‍රදේශයේ පෙදරේරු ශිල්පියෙකු වන රත්න රවීන්ද්‍ර මහතා පැවසීය. ඔහු දශක දෙකකට අධික කාලය පුරා එම වෘත්තියේ නියැළෙන්නෙකි.

“මට ඒ හරහා ලැබුණේ දැනුම පමණක් නොවෙයි. ආයතනය මගින් ලබාදුන් ඉලක්ක සම්පූර්ණ කළ විට විවිධ තෑගිත් හිමිවුණා. ඒ හරහා කොන්ක්‍රීට් මික්චර් යන්ත්‍රයක් දිනාගන්න මට පුළුවන් වුණා. එය මගේ කටයුතු කාර්යක්ෂම කරන්නත්, ආදායම වැඩිකරන්නත් ලොකු හේතුවක් වුණා. මම දැනට ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ හොඳ දැනුමකින් සන්නද්ධ පෙදරේරුවෙක්. ඒ වගේම රුපියල් පන් ලක්ෂයක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් මා සතුයි. එය මගේ හිතට ලොකු සැනසීමක්. මේ නිසා INSEE සත්කාර වැඩසටහන යටතේ අපි වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම ලොකු කාර්යභාරයක් ඉටු කරන බව හොඳටම පැහැදිලියි. ශ්‍රී ලංකාව පුරා සිටින අනෙකුත් පෙදරේරුවන්ටත් මෙම වැඩසටහන සමඟ එක්වී මා හා සමානව ම ප්‍රතිලාභ ලැබිය හැකි බව මට ඉතා විශ්වාසයි”, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව