Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වේ

01

Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී වකීසන් සහ ක්‍රිෂිහාන් රවීන්ද්‍රන් මෙම කණ්ඩායමට ඇතුළත් වූ අතර සසික සංකලන කණ්ඩායම් නායක ලෙස කණ්ඩායම මෙහෙයවන ලදී.  චීනයේදී ඔවුන් විසින් දැක්වූ විස්මිත දස්කම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට  ඔසවා තැබීමට සමත් විය.

 



 

Huawei ICT 2023-2024 තරඟයේ සමාප්තිය සහ සම්මාන උළෙල Shenzhen හිදී පැවැත්වූ අතර මෙවර තරඟය සඳහා විවිධ කලාපවල රටවල් 80කට වැඩි ගණනක, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 2,000කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් 170,000කට අධික සිසුන් සංඛ්‍යාවක් සහභාගී වූහ. මේ අතරින් රටවල් 49 කින් තරඟකරුවන් 470 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් 160 කට වැඩි ප්‍රමාණයක් ගෝලීය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට වාසනාවන්ත වූහ.

Huawei ICT ගෝලීය තරඟයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පෑ විශිෂ්ට දස්කම් සහ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන මහතා නිහතමානී ආඩම්බරයක් පළ කළේය. “මෙම ජයග්‍රහණය ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොව නවෝත්පාදන සහ අධ්‍යයන විශිෂ්ටත්වය වර්ධනය කළ හැකි පරිසරයක් ඇතිකිරීම සඳහා අපගේ විශ්ව විද්‍යාලයේ නොසැලෙන කැපවීම මනාව පිළබිඹු කරයි. අපගේ සිසුන්ට ඔවුන්ගේ කුසලතා ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලසමින් මෙම අගනා අවස්ථාව ශාස්ත්‍රීයව සහ කර්මාන්තයට සම්බන්ධ කිරීම වෙනුවෙන් අපි Huawei වෙත බෙහෙවින් කෘතඥ වෙනවා,” ඔහු සඳහන් කළේය.

Huawei ICT තරඟයේ සිසුන්ගේ ගමන්මඟ නව්‍යකරණයේ සහ ඔරොත්තු දීමේ ආත්මය විදහා දක්වන බව තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති බී. එච්. සුදන්ත මහතා සඳහන් කළේය.“මෙම ජයග්‍රහණය ඔවුන්ගේ වෙහෙස මහන්සිය, කැපවීම සහ අපගේ ආයතනය විසින් සපයන ලද ශක්තිමත් අධ්‍යයන රාමුව පිළිබිඹු කරයි,” ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

සිසුන්ගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබ පැතුම් එක කරමින් Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze ප්‍රකාශ කළේ, “මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ මේ විශිෂ්ට දස්කම් ගැන මම ඉමහත් ආඩම්බරයට පත් වෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වය හුදෙක් පුද්ගලික සන්ධිස්ථානයක් නොව ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා වැදගත් ඉදිරි පියවරක්. කලාපීය සහ ගෝලීය වශයෙන් අභියෝගවලට මුහුණ දීමට නොබියව සිටින මෙම දක්ෂ හා ධෛර්ය සම්පන්න තරුණ මනසින් අපේ රටේ අනාගතය හැඩගැස්වෙනවා. Huawei ICT තරඟ වේදිකාව තුළින් ශ්‍රී ලාංකේය සිසුන් ඉතිහාසයට එක්වීම සහ මෙවන් ප්‍රගතියක් අත්කර ගැනීම දැකීමත් අපිට ඉමහත් සතුටක්. මෙය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ හැකියාවන් පිලිබඳ කදිම සාක්ෂියක්.” යනුවෙනි.

ඉතා තියුණු තරඟයකින් පසුව, ඇල්ජීරියාව, චීනය, නයිජීරියාව, පකිස්ථානය, පෝලන්තය, පිලිපීනය, ටැන්සානියාව, තුර්කිය සහ උගන්ඩාව යන රටවල් 9යෙහි  කණ්ඩායම් 19 ක් Practice and Innovation තරඟවල විශිෂ්ට ත්‍යාග දිනා ගැනීමට සමත් වූ අතර Best Social Media Popularity Award දිනා ගැනීමට පාකිස්ථානයේ කණ්ඩායමක් සමත් විය. තවද Green Development Award චීනයේ සහ මොරොක්කෝවේ කණ්ඩායම් දෙකක් විසින් දිනා ගන්නා ලද අතර Women in Tech Award කෙන්යාව, මැලේසියාව, මොරොක්කෝව සහ උගන්ඩාව යන කණ්ඩායම් 4ද  TECH4ALL Digital Inclusion Award චීනයේ සහ පිලිපීනයේ කණ්ඩායම් දෙකක් විසින්ද දිනා ගන්නා ලදී.

Huawei හි උපායමාර්ගික පර්යේෂණ ආයතනයේ සභාපති Zhou Hong පැවසුවේ, “තාක්‍ෂණය මෙවැනි ප්‍රගතියක් ලබමින් සිටින අතරතුර සෑම කෙනෙකුටම ඩිජිටල්කරණයේ ප්‍රතිලාභ සැබවින්ම භුක්ති විඳීමේ අවස්ථාව ලබාදීම සඳහා ඩිජිටල් තාක්‍ෂණයන් වෙත එකලෙස ප්‍රවේශ විය හැකි බවට සහතික කිරීම ඉතා වැදගත් බව Huawei විශ්වාස කරනවා.”යනුවෙනි. UNESCO සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් Stefania Giannini වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඩිජිටල් තාක්‍ෂණය සහ AI භාවිතා කරන සෑම සිසුවෙකුගේම සහ ගුරුවරයෙකුගේම මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට යුනෙස්කෝව ක්‍රියා කරන බව සහ සියල්ලන්ටම සාධාරණ, විවෘත සහ සුරක්ෂිත ඩිජිටල් අනාගතයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි. තවද  දිගුකාලීනව සහයෝගය ලබා දෙන  Huawei වැනි අපගේ හවුල්කරුවන්ට බොහෝම ස්තූතියි.”යනුවෙනි.

Huawei හි ICT උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති Ritchie Peng, “ICT යනු බුද්ධිමත් ලෝකයේ මුල්ගලයි. Huawei ICT තරඟය ඔස්සේ අපි සිසුන්ට තරඟ කිරීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට ගෝලීය වේදිකාවක් ලබා දීමට අපේක්ෂා කරමු.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Huawei ICT Accelerating Education Transformation සමුළුව ද එදිනම පවත්වන ලද අතර එහිදී Huawei විසින් උපදේශකයින් 24 දෙනෙකුට Huawei ICT Academy Global Most Valuable Instructor යන නාමය ප්‍රථම වරට ප්‍රදානය කරන ලදී. මෙම සම්මානයේ අරමුණ වන්නේ දක්ෂතා වර්ධනය කිරීමට ඔවුන් ලබා දී ඇති දායකත්වය වෙනුවෙන් කෘතඥතාව දැක්වීම සහ ආදර්ශයට ගතහැකි චරිත ලෙස ඔවුන්ව හඳුන්වා දීමයි. මොවුන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා පරිසර පද්ධතියේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ඉමහත් දායකත්වයක් දක්වනු නිසැකයි.

Huawei ICT තරඟය Huawei විසින් ගෝලීය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සඳහා පවත්වනු ලබන වාර්ෂික තරඟයකි. සිසුන්ට සාධාරණ තරඟයක් සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර වේදිකාවක් ලබා දීම Huaweiහි අරමුණයි. 2015 ආරම්භ කළ දින සිට මේ දක්වා සිසුන්ට ඔවුන්ගේ ICT දැනුම සහ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කරගැනීමට සහ නව තාක්ෂණයන් සහ වේදිකා භාවිතා කරමින් නව්‍යකරණය කිරීමට ඇති හැකියාව ඔප්නංවාලීමට අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබාදී ඇත. මෙහි අවසාන පරමාර්ථය වන්නේ තාක්‍ෂණික සංවර්ධනය දියුණු කිරීම සහ ලොව පුරා ඩිජිටල්කරණ පහසුකම් සලසා දීමයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව