Hemas Pharmaceuticals වෙතින් මියන්මාරයට මානුෂීය ආධාර

Picture - Hemas Donation (LBN)

Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals සමාගම විසින් පසුගියදා මියන්මාරයට යැවීම සඳහා මානුෂීය සහනාධාර වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදි. 2025 මාර්තු 25 දින සිදු වූ, රිච්ටර් මාපකයේ 7.7 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියන්මාරයේ දැවැන්ත විනාශයක් සිදු විය.

ලංකා වාණිජ මණ්ඩලයේ ඉල්ලීම පරිදි, මියන්මාරය තුළ සිදුවෙමින් පවතින මානුෂීය සහන මෙහෙයුම් සඳහා අත්වැලක් වීමේ අරමුණින් Hemas Pharmaceuticals සමාගම විසින් 2025 අප්‍රේල් 04 දින මෙම ඖෂධ තොගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදෙන ලදි.

 



 
මෙම පරිත්‍යාගය වෙනුවෙන් Hemas Pharmaceuticals සමාගමට ස්තූතිය පළකරමින් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ මහතා මෙසේ පැවසීය. “ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදී පෞද්ගලික අංශය ඉටුකරන භූමිකාවේ වැදගත්කම මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. කිසියම් ව්‍යාපාරයක් අවශ්‍ය සම්පත් සහ විශේෂඥ දැනුම ලබාදෙමින් උදව් කිරීමට ඉදිරිපත් වීම යනු හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීමට මෙන්ම කලාපයේ එකමුතු බව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට දායක වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. ආපදාවල බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට කඩිනමින් සහන සැලසීමට මෙන්ම දීර්ඝකාලීන ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට මෙබඳු හවුල්කාරීත්වයන් අතිශයින් වැදගත්.”

මියන්මාරය තුළ සිදු වූ ව්‍යසනයේ බරපතළකම සහ විපතට පත්වූවන්ට ඉක්මනින් වෛද්‍ය ආධාර සහ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් ඊට පිළියම් යොදන අතරම, එරට තුළ සෞඛ්‍ය සේවා සපයන්නන්ට මුහුණ දීමට සිදු වී ඇති දුෂ්කරතා අවම කිරීම Hemas Pharmaceuticals සමාගමේ අරමුණ විය. මෙමගින් එරට තුළ සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින සංවිධානවල සාමූහික උත්සාහයන්ට අත්වැලක් හිමි වනු ඇති බවත්, එරට ජනතාවට ව්‍යසනයේ බලපෑම්වලින් මිදීමට එය මහෝපකාරී වනු ඇති බවත් Hemas Pharmaceuticals සමාගම විශ්වාස කරයි.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් Hemas Pharmaceuticals (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ රණසෝම මහතා මෙසේ පැවසීය. “ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් මෙන්ම, 1948 වසරේ සිට වසර 77 ක් පුරා රටට ඖෂධ සැපයන සමාගමක් වශයෙන්, මෙවැනි අවශ්‍යතා හමුවේ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම අපගේ යුතුකමක් සහ වගකීමක් බව අප විශ්වාස කරනවා. ජීවිතාරක්ෂක හදිසි ආධාර සැපයීම සඳහා දරනු ලබන ප්‍රයත්නයන්ට සහය වීමට අප සෑම විටම සූදානම්. මෑතකදී මියන්මාරයේ සිදු වූ මෙම ව්‍යසනයේ පරිමාණය දෙස බලන විට, එවැනි ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය බව පැහැදිලි වනවා. අප සිදු කළ මෙම පරිත්‍යාගය, මියන්මාරයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමට මහෝපකාරී වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.”

මියන්මාරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සැපයීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සහ ප්‍රමාදයකින් තොරව හදිසි ප්‍රතිචාර කණ්ඩායම් මියන්මාරය වෙත පිටත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මාර්තු 31 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවති මූලික සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගන්නා ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රජයේ සහ රජයේ නොවන ආයතනවල නියෝජිතයන් සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මියන්මාරයට මානුෂීය ආධාර සැපයීම සහ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා හදිසි ප්‍රතිචාර කණ්ඩායම් යෙදවීම මෙන්ම සහන සේවා සැපයීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව