Hayleys Fabric, CEA සහ මෙරට විශ්ව විද්‍යාල සමඟ අත්වැල් බැඳගනිමින් ජෛව විවිධත්වය යළි ස්ථාපිත කිරීමේ උත්සාහයන් ශක්තිමත් කරයි

Image 01 (LBN)

 



 

 

ජෛව විවිධත්ව යළි ඇති කිරීම සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා වූ කැපවීම ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත සහ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයා වන හේලීස් ෆැබ්රික් (Hayleys Fabric), මධ්‍යම පරිසර අධිකාරිය (CEA), පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්‍යාල සමඟ හවුල් වී බෙන්තොට ගෙඟ් අතු ගංගා ආශ‍්‍රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා පියවර ගනියි.
රු. මිලියන 1.5 ක් වූ මෙම මුලපිරීමේ අරමුණ වන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෙටල (Lagenandra) විශේෂ තුන සංරක්ෂණය හා යළි ස්ථාපිත කිරීමත් සමඟ ඉහළ හේවස්ස, කළුදොල සහ කළුගල ගං ඉවුරු ස්ථාවර කිරීමයි.
”තිරසාර අනාගතයක් සඳහා වන අපගේ කැපවීම ඉතා ඉහළයි. අපි හේලීස් සමූහ ව්‍යාපාරයෙහි ESG (පරිසරය, සමාජීය සහ පාලනය) වැඩපිළිවෙල සඳහා මඟ පෙන්වන Hayleys Lifecode ට අනුව යමින් අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ සෑම අංශයක්ම තිරසාර සහ පරිසර හිතකාමී බව සහතික කරනවා.”
”ඉතාම මෑතක දී අපි අපගේ කර්මාන්තශාලා පරිශ‍්‍රයට යාබද තෙත් බිම් අක්කර නවයක් සඳහා ආයෝජනය කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ එම ප‍්‍රදේශය තුළ දක්නට ලැබෙන මෙරටට ආවේණික සත්ව සහ ශාක විශේෂයන් පිළිබඳ දැනුවත් කළා. ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනය ජෛව විවිධත්වය නැතිවී යාම බව වටහාගත් අප අපගේ හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට තවත් පරිසර පද්ධතියක් තෝරාගෙන එහි ජෛව විවිධත්වය සහතික කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා. එහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ අපගේ හවුල්කරුවන්ගේ උත්සහයට ශක්තියක් වෙමින් පාරිසරික සංරක්ෂණය සඳහා වන අපගේ කැපවීම තව තවත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
තවද මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලල්විට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කෙටල ශාකයේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව තෝරාගත් ඉවුරු වලට අදාළ ග‍්‍රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප‍්‍රජා සාමාජිකයින් විසින් මෙම ගංගා ඉවුරු අධීක්ෂණය කරනු ලැබේ.
”ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා බලපාන ප‍්‍රධානතම සාධකයක් වන්නේ ගංගා සහ තෙත් බිම්ය. නමුත් ස්වභාවික හේතූන් සහ මානව මැදිහත්වීම් නිසා ගං ඉවුරු ඛාදනය වේගවත් වී තිබෙනවා. ඉවුරු ඛාදනය නැවැත්වීම සඳහා නිර්දේශිත එක් ක‍්‍රමයක් වන්නේ ස්වභාවික ශාක හා සත්ව ප‍්‍රජාව සිය ස්භාවික වාස භූමි වලම නැවතත් ස්ථාපනය කිරීමයි. එබැවින් මෙම විශේෂිත ව්‍යාපෘතිය යටතේ මෙරටට ආවේණික සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෙටල වැනි ශාක සංරක්ෂණය කරමින් අපගේ ඉවුරු ආරක්ෂා කිරීමට පියවර ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා.” යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී හේමන්ත ජයසිංහ මහතා පැවසුවේය.
ව්‍යාපෘතිය සඳහා මූලික පරීක්ෂණ සහ ස්ථාන නැරඹීම ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ පළමු අදියර කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක වෙනවා. තෝරාගත් කෙටල පැළ ප‍්‍රරෝහණය කිරීම විශ්වවිද්‍යාලයේ ප‍්‍රමුඛ පෙළේ ශාක විද්‍යාඥයකු වන පේරාදෙණිය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය ප‍්‍රමුඛ අධ්‍යයන කණ්ඩායම විසින් සිදු කරනු ලැබේ.
”ශ‍්‍රී ලංකාවෙන් කෙටල විශේෂ 13ක් වාර්තා වී ඇති අතර ඉන් දහයක්ම මෙරටට ආවේණිකයි. ඉන් පහක් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර හතරක් වඳවීමේ තර්ජනයට ලක්වී තිබෙනවා. කණගාටුවට කරුණක් වන්නේ එක් විශේෂයක් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව හෝ සමහර විට දැනටමත් වඳ වී ගොස් තිබීමයි. මෙම ශාක බොහෝමයක් විසිතුරු ශාක ලෙස අලෙවි කරන බැවින් එම විශේෂ ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා වූ මෙම මුලපිරීමත් සමඟින් නැවතත් මෙම ශාක විශේෂ ගං ඉවුරු වල ස්ථාපිත කිරීම පමණක් නොව, කළුතර දිස්ත‍්‍රික්කයේ ස්වභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ද අපට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය යකන්දාවල මහත්මිය මෙසේ පැවසුවාය.
පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවල මෙන්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) අධ්‍යයන කණ්ඩායම මඟින් තෝරාගත් ප‍්‍රදේශවල දිය දහරා ආශ‍්‍රිත පාරිසරික පරාමිතීන් නිර්ණය කිරීම, මල් පිපීම සහ ගෙඩි හට ගැනීම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරේ. Phenology, ex situ බීජ ප‍්‍රරෝහණය, පැල සිටුවීම සහ යළි ස්ථාපිත කිරීමේ ක‍්‍රමෝපායන් මෙන්ම කෙටල ශාකය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව