Good Life X Accelerator 2020 වැඩසටහනට එක්වූ නව ව්‍යවසායකයෝ තම අත්දැකීම් හුවමාරු කරගනිති

GLX GP

සති 12ක් පුරා පැවැති Good Life (GLX) Accelerator දෙවැනි වැඩසටහනට එක් වූ BusSeat, Good Folks, Local Forecast, Mindful Travels, Moonshadow Naturals, Olai, Owita Organics, RAW, Sebastco සහ Wawamu යන නව ව්‍යවසායකයෝ, එහිදී තමන් ලද අත්දැකීම් බෙදාගැනීමට පසුගියදා කටයුතු කළහ.

ඔවුන් පළ කළ අදහස්වලට අනුව, අංශ කිහිපයක් ඔස්සේ ප්‍රතිලාභ රැසක් ඔවුන්ට හිමි වී තිබුණි. එනම් ව්‍යාපාරයට අදාළ නිෂ්පාදනය හරිහැටි අවබෝධ කරගැනීම, අත්දැකීම් ලබාගැනීම, වැදගත් සම්බන්ධතා ඇති කරගැනීම සහ ජාත්‍යන්තරයට පිවිසීම ආදිය ඒ අතර කැපීපෙනුණි. තම ව්‍යාපාරයේ අනාගතය කෙබඳු විය යුතුදැයි ඒ හරහා ඔවුන්ට මනා වැටහීමක් ලබාගත හැකිවිය.

සුවිශේෂී අරමුණු සහ ඉලක්ක කෙරෙහි ව්‍යවසායකයින්ගේ අවධානය යොමුකරගැනීම මෙම වැඩසටහනෙහි එක් ප්‍රධාන පරමාර්ථයක් විය. Sebastco ආයතනයේ නිර්මාතෘ ශිරාන් සඳහන් කළේ, තමන්ට හරි ඉලක්කයක් ගැනීමටත්, නිෂ්පාදන සන්නාමය හා තම ව්‍යාපාරයේ සුවිශේෂීත්වය ඉස්මතු කරගනිමින් නිෂ්පාදන වර්ධනය කරගැනීමටත්, ආදායම් ඉපැයීමටත් GLX Accelerator  වැඩසටහන බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව ය.

වැඩසටහන අතරතුර නව ව්‍යවසායකයින්ට ලැබුණු විශාලතම ප්‍රතිලාභයක් ලෙස ව්‍යාපාර උපදේශනය හැඳින්විය හැක. මේ සඳහා යුරෝපයේ කීර්තිමත් ව්‍යාපාර පාසලක් වන ESCP ව්‍යාපාර පාසල සමඟ අත්වැල් බැඳගෙන තිබුණි. එම ව්‍යාපාර පාසලේ කථිකාචාර්ය පීටර් බෝකර්ස් පවසන අන්දමට සියලු GLX ව්‍යවසායකයින් මෙම වැඩසටහනේ උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කර තිබුණි. “අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔවුන් දැන් හොඳින් සූදානම්. ඒ වගේම සාර්ථකත්වය සඳහා ගමන් කිරීමට ඔවුන්ට ඇති හැකියාවත් සෑහෙන දුරට වර්ධනය වෙලා”ඔහු විස්තර කළේය.

“GLX සතු විශිෂ්ට කාර්යමණ්ඩලයේ ක්‍රියාකාරීත්වය මෙන්ම මුල් වැඩසටහන් දෙකෙහි සාර්ථකත්වය තුළ, අනාගතයේදී ඉතා වටිනා ව්‍යාපාර බිහිකරගැනීම සඳහා හොඳ පදනමක් නිර්මාණය වී තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව පුරා යහපත් ව්‍යාපාර බිහිකිරීමේ පුරෝගාමියා බවට GLX පත්වන ලකුණුත් පෙනෙන්න තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 




 

 

පළපුරුදු සහ අන්තර්ජාතික කීර්තියට පත් ව්‍යාපාර උපදේශකයින්ගේ දැනුම ලැබීම පිළිබඳව නව ව්‍යවසායකයින් ද පසුවන්නේ මහත් තෘප්තියකිනි. “ව්‍යාපාර උපදේශකයන්  අපට කිහිප ආකාරයකින් සහාය වුණා. අපේ ව්‍යාපාර ආකෘතිය හඳුනාගැනීමටත්, වැඩසටහනේ විවිධ අදියර ඔස්සේ අපට මඟපෙන්වීමටත්, ආයතනය තුළ සැඟවුණු ශක්තීන් සොයාගැනීමටත් ඔවුන් බෙහෙවින් උපකාරී වුණා” යැයි Wawamu ආයතනයේ නිර්මාතෘ ශෙහාන් ප්‍රකාශ කළේය.

BusSeat සහ Moonshadow Naturals යන ව්‍යාපාර ආයතනවලට ද වැඩසටහන අතරතුර විශාල සහායක් හිමි වී තිබුණි.  එම ව්‍යාපාර හිමිකරුවන් පවසන්නේ මෙවැන්නකි. “ව්‍යාපාරයේ විවිධ පැතිකඩ සඳහා අවශ්‍ය විවිධ දෑ ඉගෙන ගැනීමට ව්‍යාපාර උපදේශකත්වය උපකාරී වුණා. විශාල අත්දැකීම් සම්භාරයක් ඇති, එමෙන්ම නව ව්‍යාපාර මුහුණ දෙන අභියොග ගැන හොඳ වැටහීමක් ඇති උපදේශකයින් මුණගැසීමට ලැබීම ලොකු භාග්‍යයක්”.

ඕනෑම නව ව්‍යාපාරයකදී ප්‍රාග්ධන සම්පාදනයට හිමිවන්නේ විශාල වැදගත්කමකි. GLX Accelerator වැඩසටහන හරහා එම අරමුණ සාර්ථකව ජයගැනීම සඳහා ද නව ව්‍යවසායකයින්ට වටිනා මාර්ගෝපදේශ හිමිවිය. Sebastco හි ශිරාන් පවසන ආකාරයට ආධාර මුදලක් හිමිවීම හරහා, නොබියව ව්‍යාපාරයේ මීළඟ පියවර ‍ගැනීමට ලැබෙන්නේ විශාල දිරියකි.

ව්‍යාපාරයක් දියුණු කිරීමේදී පුද්ගල සබඳතා වර්ධනය කරගැනීමත්, විශේෂයෙන් ම අවශ්‍ය මොහොතේ අවශ්‍ය පුද්ගලයාගේ සහාය ලබාගැනීමත් ඉතාමත් වැදගත් වේ. RAW නිර්මාතෘ රොනාලි ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වූවාය. “මෙම වැඩසටහන මගින් මගේ සබඳතා ජාලය පුළුල් වුණා. ඒ මොහොතේ වඩාත් ම අවශ්‍ය දේ පිළිබඳව අවධානය යොමුකරමින් කටයුතු කිරීමටත් හොඳ පුහුණුවක් එහිදී ලැබුණා”.

මේ අතර  Owita Organics නිර්මාතෘ විහඟුන් ප්‍රකාශ කළ අන්දමට දෙස් විදෙස් ප්‍රවීණයින් හරහා ව්‍යාපාර වර්ධනය කිරීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ඔවුන්ට මෙම වැඩසටහන හරහා හිමිව තිබුණි. “GLX වැඩසටහනට සම්බන්ධ වූ සෙසු ව්‍යවසායකයින් නිසා මගේ ව්‍යාපාර ලෝකය තුළ මගේ පුද්ගල සබඳතා ජාලය පුළුල් කරගත හැකිවුණා”, යනුවෙන් Olai හි යතූෂ පැවසීය.

Good Folks ආයතනයේ හිමිකරුවන් පවසන ආකාරයට මෙම වැඩසටහන මගින් අඛණ්ඩව ලැබුණු සහාය නිසා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සිහිනයක් පමණක්ව තිබූ අවස්ථා ගණනාවක් සමීප කරගැනීමට අවකාශ උදා වී තිබේ. එසේ සමස්ත වැඩසටහන පුරා අන්තර්ගත වූ වටිනා අංග හේතුවෙන් තම ව්‍යාපාර වෙත විශාල ජවයක් සපයාගැන්මට හැකිවූ බව ද ඔවුහු කියාසිටියහ. Mindful සමාගමේ නිර්මාතෘ අමාර් ද ඒ බව සනාථ කරමින් අදහස් පළ කළේය. “ව්‍යාපාරයක් ආරම්භ කිරීම කියන්නේ ඉතාම දුෂ්කර කාර්යයක්. ඒ නිසා මුල් වරට ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට මේ වගේම සහායක් තිබිය යුතුයි. පුංචි උපකාරයකින් වුණත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්” ඔහු පැවසීය.

GLX Accelerator යනු, ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් GIZ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. ඒ හරහා යහපත් හා තිරසාර ව්‍යාපාර අදහස් ප්‍රවර්ධනය කෙරේ. මෙහිදී ආහාර, සංචාරක, සුවතාව හා නිර්මාණ සැලසුම් වැනි තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක නව ව්‍යවසාය සඳහා මඟපෙන්වීම, පුහුණු, සබඳතා වර්ධනය ඇතුළු තවත් පහසුකම් රැසක් පිරිනැමේ. ව්‍යවසායකයින් තම ව්‍යාපාර මීළඟ තලය කරා ඔසවා තැබීමට සහාය වීම එහි අපේක්ෂාවයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව