GIZ හා GLX එක්ව “GLX Digital Evolver” වැඩසටහන සංචාරක කර්මාන්තයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් හඳුන්වා දෙයි

1

 




 

 

2021 ජුනි, කොළඹ-  ශ්‍රී ලංකාවේ සංචාරක  කර්මාන්තයේ නියැළී සිටින සුළු පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය සමීප කරමින්, කෝවිඩ්-19 වසංගතය නොතකා ශක්තිමත්ව නැගී සිටීමට අතහිත දීමේ අදිටනින් යුතුව GIZ Sri Lanka සමඟ එක් වී “GLX Digital Evolver”නමින් අලුත් වැඩසටහනක් හඳුන්වා දීමට Good Life x GLX පසුගියදා පෙරමුණ ගත්තේ ය. මෙයට ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාංත්‍යංශය විසින් මූල්‍ය සහාය පිරිනැමෙනු ලැබේ.

මෙම වැඩසටහනේ අවසන් වටයට තෝරා ගනු ලැබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන වන්නේ, Gileemale Retreat, Summer Explorers Pvt Ltd, EcoGrip, The Travel Concierge Pvt Ltd, Rediscover Sri Lanka, Detroves Travels, Nandana Tea Factory, Eco Team – Sri Lanka Pvt Ltd, Infinity Vacations සහ Jungle Beach Camp Ahungalla යන සංචාරක සේවා ආයතනයි. ඉදිරි මාස තුනක කාලයක් පුරාවට කර්මාන්තයේ ප්‍රවීණයින් සමඟ එක්ව වර්ධනීය ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමට මෙම ව්‍යාපාර හිමිකරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත.  GLX Digital Evolver වැඩසටහනේ අරමුණ වන්නේ තිරසාර සංවර්ධනය හා ව්‍යාපාරවල ඩිජිටල් පරිණාමය යන ඉලක්ක දෙකම ජයගත් ව්‍යාපාර පරිසරයක් ගොඩනැගීමයි. පාරිභෝගිකයින්  වෙත ළඟාවීම, ඇප් සංවර්ධනය, සමාජ මාධ්‍ය භාවිතය හා අලෙවිකරණය පුළුල් කිරීම මෙන්ම, අඩු වියදමකින් අන්තර්ගත ප්‍රවර්ධනය කළ හැකි වෙබ් අඩවි නිර්මාණය කිරීම ආදිය  අංශ මෙම වැඩසටහන ඔස්සේ  සිදුකිරීමට කටයුතු සූඳානම් කර තිබේ. Digital Evolver පිළිබඳ අදහස් දක්වමින්, Good Life X හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී, රන්දුලා ද සිල්වා පැවසුවේ, එය සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් නඟා සිටුවීම වෙනුවෙන්ම විශේෂයෙන්ම  සකස් කළ වැඩසටහනක් බව යි. “ඔවුන් දුෂ්කරතාවන් රාශියක් මැද ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නේ. නමුත් ඒ සියල්ල අතරේදීත් ඔවුන්, ප්‍රජාව සහ පරිසරය පිළිබඳවත් ඉහළ අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා. එම නිසා ඔවුන්ට නවීන ක්‍රම භාවිතා කරමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරගැනීමට, යහපත් හෙට දවසක් උදා කරන මෙවැනි කාර්යයක් සිදුකිරීමට ලැබීමත් විශාල සතුටක්” බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයත්, ඉන් අනතුරුව මතු වූ කොවිඩ්-19 වසංගතයත්හේතුවෙන් සංචාරක ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී තිබුණි. එවන් පසුබිමක 2021 මැයි මස 10 වැනිදා මෙම වැඩසටහන සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ වූ අතර, සංචාරක ව්‍යාපාරයේ නියුතු දේශීය සුළු පරිමාණ ව්‍යාපාර 80කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා ඉල්ලුම් කර තිබුණි.

මෙසේ ඉදිරිපත් වුණු අයදුම්පත් අතුරින් අවසාන 20 දෙනා තෝරාගැනීම සඳහා විශේෂ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණි. ඊට GLX, GIZ යන ආයතනවල නියෝජිතයින් මෙන්ම ෆටුමාරු කොන්සල්ටින් (Fatumaru Consulting) හි ප්‍රධාන විධායක නිලධාරී, පැස්කල් ගැවොටෝ  සහ ඇන්ට්යිරා සොලූශන්ස් (Antyra Solutions) ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නවීන් මාරසිංහ දායක වූහ. මීට අමතරව ව්‍යාපාරයේ නීත්‍යානුකූලභාවය, විසඳුම් පිරිනැමීමේ නව්‍යතාවය, තිරසාර ව්‍යාපාර භාවිතාවන්, පරිසරයේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් බව, සමාජයට ඇති සුබවාදී බලපෑම මෙන්ම වසංගතය අතරතුර සිය පැවැත්ම තහවුරු කරගැනීමට අනුගමනය කළ නවෝත්පාදන විසඳුම් ආදි පදනම් මත වැඩසටහන සඳහා අවසාන අපේක්ෂකයින් 10 දෙනා තෝරාගැනිණි.

කොවිඩ්-19 වසංගතය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග රාශියකි.  ඒවා ජයගනිමින් තම ව්‍යාපාර ඉහළට ඔසවා තැබීම සඳහා ඩිජිටල් අවකාශයත්, වෙනත්  නූතන ශිල්ප ක්‍රමය උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් GLX Digital Evolver හරහා මෙම පිරිසට හිමිවේ. ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තය වෙනුවෙන් තිරසාර විසඳුම් හා තාක්ෂණික ප්‍රවීණතාව සපයනු ලබන මෙම වැඩසටහන  හා  එක්වීමට ලැබීම පිළිබඳ GIZ ආයතනය ද මහත් සේ සතුටට පත්වන බව එහි මෙරට අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටියෑන් ඉන්ෆෙල්ඩ්ට් මහත්මිය ප්‍රකාශ කළාය.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ නව ව්‍යපාරවලට මෙන්ම කාලයක් පුරා ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට පවා තම නිෂ්පාදන පුළුල් කරගැනීම, අභ්‍යන්තර හා බාහිර ක්‍රියාවලි වර්ධනය කරගැනීම සහ ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම ආදී කාර්යයන් සඳහා  GLX සහාය දී ඇත.  2019 වසරේදී ආරම්භ වූ GLX, ආහාර, නිර්මාණ, සංචාරක හා සුවතා යන ව්‍යාපාර ක්ෂේත්‍රවල ව්‍යාපාර හා සන්නාම සංවර්ධනයට ප්‍රමුඛ අවධානයක් යොමු කරයි. GLX 2018 වසරේදී නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ වූ අතර, ඉතා කෙටි කලකින්ම ඉහත කී ව්‍යාපාර ක්ෂේත්‍රවල රැඳී සිටින තිරසාර, නව හා සුළු ව්‍යාපාර සංවර්ධනය සඳහා ප්‍රතිඵලදායී විවිධ වැඩසටහන් රැසක් සහිත පරිපූර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත්ව තිබේ. වර්තමානය වන විට GLX හි සහාය හිමිව ඇති ව්‍යාපාර සංඛ්‍යාව 40කට වැඩි ය.

Deutsche Gesellschaft für Internationale Zusammenarbeit GmbH හෙවත් GIZ ආයතනය, 1956 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා රජයේ සංවර්ධන සහකරුවෙකු ලෙස ක්‍රියාකරයි. එහිදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය තුළ ධාරිතා නැංවීම, ආයතනගත ක්‍රියාවලි සහ පද්ධති පිහිටුවීම සඳහා ක්‍රියා කරන අතර, පුනර්ජීවනය උදෙසා පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම, රැකියා නියුක්තිය වර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම හා කාලගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් වළක්වා ගැනීමට ස්වභාවික සම්පත් කළමනාකරණය උදෙසා නවෝත්පාදනය ආදී විෂයයන් තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටියි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව