E.B. Creasy Solar අංශය ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනය බලගන්වයි

Image - E. B. Creasy Solar Energizes the 9th Annual Construction Power and Energy Expo 2024 (LBN)

E. B. Creasy & Co. PLC සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, මෙවර ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්, බලශක්ති සහ අභ්‍යන්තර නිර්මාණ හා නිෂ්පාදන ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ‘Construction Power and Energy Expo’ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 9 වන වරට ය. තිරසර සංවර්ධනය සඳහා දීර්ඝ කාලයක පටන් කැප වී සිටින අංශයක් වශයෙන් මෙම ප්‍රදර්ශනය බලගැන්වීමට හැකි වීම පිළිබඳව තමන් මහත් සතුටට පත්වන බව E.B. Creasy Solar අංශය පවසයි. 2024 ජූලි මස 05 වන දින සිට 07 වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට ක්ෂේත්‍රය සම්බන්ධ නවීනතම ප්‍රවණතා, තාක්ෂණය සහ විසඳුම් ප්‍රදර්ශනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් දැනුම හුවමාරු කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි.

 



 

මෙම ප්‍රදර්ශනය Lanka Exhibition and Conference Services (LECS) මගින් සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ප්‍රගතිය උදෙසා තමන් දක්වන කැපවීම යළිත් තහවුරු කරමින් E. B. Creasy Solar ඊට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් විය. මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වසර 20 කට අධික පළපුරුද්දක් හිමි E. B. Creasy Solar, තමන් ක්‍රියාවට නංවන සෑම ව්‍යාපෘතියක්ම අතිශය නිරවද්‍ය ලෙස සහ කැපවීමෙන් යුතුව ක්‍රියාවට නංවයි. E. B. Creasy Solar අංශයේ දැඩි ප්‍රසම්පාදන සහ සැපයුම් දාම ක්‍රමවේද තුළින් එහි සැපයුම්කරුවන් සහ පාර්ශ්වකරුවන් කෙරෙහි ඇති ළැදියාව මැනවින් පෙන්නුම් කරන අතර, පාරිභෝගික තෘප්තිය සහ දීර්ඝකාලීන විශ්වාසනීයත්වය සඳහා වන කැපවීමද නිරූපණය කරයි.

මෙවර ප්‍රදර්ශනය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එමගින් ඇතිවන යහපත් බලපෑම් සම්බන්ධයෙන් E.B. Creasy Solar හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසුරු ලේකම්ගේ මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙම ප්‍රදර්ශනය පසුගිය වසරවලදීත් ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වුණා. ‘Construction and Power Expo 2024’ යනු එම සාර්ථකත්වය ඉදිරියට ගෙන යෑමක් ලෙස හැඳින්වීමට පුළුවන්. නවෝත්පාදනයේ සහ ප්‍රගතියේ පූර්වාරම්භයක් ලෙස හැඳින්විය හැකි මෙම ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ප්‍රදර්ශනය බලගැන්වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලයක පටන් කටයුතු කරන අංශයක් ලෙස, මේ ආකාරයට විවිධාකාර වූ ක්ෂේත්‍ර තුළ නව බලාපොරොත්තු දැල්විය හැකි, තාක්ෂණය ගවේෂණය කරන ප්‍රදර්ශනයක් වෙනුවෙන් දායක වීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ අපට වඩාත් දීප්තිමත් හා තිරසර අනාගතයක් වෙනුවෙන් දොරටු විවර කිරීමට හැකි වේවි. එය E. B. Creasy Solar හි මූලික වටිනාකම් සහ කැපවීම් මැනැවින් නිරූපණය කරන බව අපගේ විශ්වාසයයි.”

තිරසරත්වය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධ පුරෝගාමියෙකු ලෙස, E.B. Creasy Solar අංශය ‘Construction Power and Energy Expo 2024’ හි ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇත. සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය රටේ ගෘහස්ථ සහ කර්මාන්ත ක්ෂේත්‍රවලට පිරිසිදු හා තිරසර බලශක්තිය සැපයීම සඳහා Solar Grid Tied, Solar Irrigation යන විසඳුම් හඳුන්වා දී තිබේ. Solar grid-tied පද්ධති ක්‍රමෝපායික ලෙස ස්ථාපිත කිරීම තුළින් මෙගාවොට් 2.5 කට වැඩි බලශක්තියක් ජනනය කරන, පියසි මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීමට අංශයට හැකි වී ඇති අතර, මහා පරිමාණ කාර්මික සහ වාණිජ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයකටද E.B. Creasy Solar මේ වනවිට දායක වී තිබේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා තිරසරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් සතු කැපවීම නැවත වරක් තහවුරු කරමින් ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනයට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකි වීම පිළිබඳව E.B. Creasy Solar සිය සතුට පළකර සිටී. මෙම හවුල්කාරීත්වය හරහා ධනාත්මක වෙනසක් ඇතිකරමින් අනාගත පරම්පරාවන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා E.B. Creasy Solar දරන උත්සාහය යළි තහවුරු කිරීමකි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව