ඩිට්වා සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමේ කටයුතුවලදී සුළු පරිමාණ ගොවීන් සහ ධීවරයින් කේන්ද්‍රගත කරගැනීම

FAOR Sri Lanka_Cyclone Ditwah impact_1 (LBN)

– ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිතවරයා වන විම්ලේන්ද්‍ර ෂරන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශය

2025 දෙසැම්බර් 12: ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා බොහෝ පවුල්වලට දැඩි දුෂ්කරතා ගෙන දී ඇති අතර, තම ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ සියලු දෙනා පිළිබඳව අපගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු. මෙහි බලපෑම රට පුරා දැනී ඇති නමුත්, කුඹුරු ඉඩම්, කෘෂි යෙදවුම්, උපකරණ, බෝට්ටු සහ තොටුපොළවල්වලට හානි සිදුවීම හේතුවෙන් තීරණාත්මක මොහොතක තම රැකියාවේ නිරත වීමට බාධා එල්ල වී ඇති හෙයින්, සුළු පරිමාණ වී ගොවීහු, එළවළු වගාකරුවෝ සහ සුළු පරිමාණ ධීවරයෝ වඩාත් බලපෑමට ලක්වූවන් අතර වෙති.



සුළු පරිමාණ ගොවීහු සහ ධීවරයෝ ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතියේ කොඳු නාරටිය වෙති. ඔවුහු රට පුරා පරිභෝජනය කරන සහල්, එළවළු සහ මත්ස්‍ය නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ග්‍රාමීය පවුල් විශාල සංඛ්‍යාවකට රැකියා සපයති. ඔවුන්ගේ පෞද්ගලික යළි ගොඩනැගීමට පමණක් නොව, ඉදිරි මාසවලදී ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහ ග්‍රාමීය ආර්ථිකයට සහාය වීමට ද ඔවුන් කඩිනමින් නැවත නිෂ්පාදන ක්‍රියාවලියට එක්වීම අත්‍යවශ්‍ය වේ. කාලෝචිත සහ ඉලක්කගත සහාය ඇතිව, ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම සඳහා ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ ශක්‍යතාව මෙම ප්‍රජාවන් සතුව ඇත.

පසුගිය සතියේ මම කුරුණෑගල, අනුරාධපුරය, පුත්තලම සහ හලාවත යන ප්‍රදේශවල විපතට පත් ප්‍රජාවන් හමුවීමට සංචාරය කළෙමි. ගංවතුරෙන් හානි වූ කුඹුරු ඉඩම් හරහා ඇවිද යමින්, හලාවත ඉස්සන් ගොවීන් හමුවෙමින් සහ වගාවන් හා උපකරණ අහිමි වූ පවුල් සමඟ කතා කරන විට, වාර්තාවක ඇති සංඛ්‍යාලේඛනවලට මහපොළොවේ යථාර්ථය කිසි විටෙකත් පූර්ණ වශයෙන් ග්‍රහණය කරගත නොහැකි බව මට සිහිපත් විය. එහෙත්, එම අහිමිවීම් මධ්‍යයේ වුවද, මා ගිය සෑම තැනකම එක් කරුණක් කැපී පෙනුණි: එනම් යළි ගොඩනැගීම සඳහා ගොවීන් සහ ධීවරයින් තුළ ඇති නිහඬ අධිෂ්ඨානයයි.

ක්ෂණික සහාය, විශේෂයෙන් පොහොර සහ බීජ ලැබෙන්නේ නම්, හානි වූ ඉඩම්වලින් 25% – 30% අතර ප්‍රමාණයක් මෙම කන්නයේදීම නැවත වගා කළ හැකි බව බොහෝ වී ගොවීහු මට පැවසූහ. තම බෝට්ටු, ආම්පන්න සහ ප්‍රධාන තොටුපොළ යටිතල පහසුකම් නියමිත වේලාවට ප්‍රතිසංස්කරණය කරන්නේ නම්, ධීවර ප්‍රජාවෝ ද එවැනිම අධිෂ්ඨානයක් පළ කළහ.

ඩිට්වා සුළි කුණාටුවෙන් පසු සියලුම නැවත ගොඩනැංවීමේ ප්‍රයත්නයන්හිදී සුළු පරිමාණ ගොවීන් සහ සුළු පරිමාණ ධීවරයින්ට මූලිකත්වය දෙන ලෙස FAO අවධාරණය කරයි. ඩිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ගොවීන්ගෙන් බහුතරයක් කුඩා ඉඩම් හිමි ගොවීහු වෙති. ඔවුන්ට සහාය කාලීනව ලබාදීම අතිශයින්ම වැදගත් වේ. මෙම ගොවීන්ට වත්මන් කන්නයේදී නැවත වගා කිරීමට හෝ එළඹෙන යල කන්නයට පෙර කෘෂිකර්මාන්තයට සුදුසු පරිදි තම කුඹුරු ඉඩම් පුනරුත්ථාපනය කර ගැනීමට නොහැකි වුවහොත්, ජාතික වී නිෂ්පාදනයට 2025 වසරෙන් ඔබ්බට බාධා එල්ල විය හැක. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව කුඹුරු හෙක්ටයාර 108,000 ක්, අනෙකුත් ක්ෂේත්‍ර බෝග හෙක්ටයාර 11,000 ක් සහ බඩ ඉරිඟු හෙක්ටයාර 6,600 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. සැබෑ වෙනසක් සිදු කළ හැකි මෙම අවස්ථාවේදීම සහාය ලබා දීම මගින්, මෙම ගොවීන්ට ඉක්මනින්ම නැවත නිෂ්පාදන කටයුතුවලට අවතීර්ණ වීමට උපකාරී වනු ඇති අතර, එමගින් ඔවුන්ගේ ජීවනෝපායන් මෙන්ම රටේ ආහාර සැපයුම ද සුරක්ෂිත වනු ඇත.

සාපේක්ෂව කුඩා ආයෝජනයකින් ප්‍රබල ප්‍රතිලාභ ලබා දෙමින්, පශ්චාත් ආපදා යළි ගොඩනැගීම් සඳහා බෙහෙවින් ඵලදායී වන සාධක ලෙස කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය අඛණ්ඩව තහවුරු වී ඇත. හානි වූ ඉඩම් සහ වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය කිරීම, අහිමි වූ බෝට්ටු, ආම්පන්න සහ පශු සම්පත් ප්‍රතිස්ථාපනය කිරීම, සහ ගුණාත්මක බීජ, පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය යෙදවුම් ලබා ගැනීමට නැවත ප්‍රවේශය සලසා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම මගින් නිෂ්පාදකයින්ට ඉක්මනින් නැවත වැඩ ආරම්භ කිරීමට, ආහාර සැපයුම් ස්ථාවර කිරීමට සහ ග්‍රාමීය යළි ගොඩනැගීමට සහාය වීමට අවස්ථාව ලබාදෙයි.

සුළි කුණාටුවෙන් පසුව වගාවන්, පශු සම්පත්, අභ්‍යන්තර සහ කරදිය ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව කෙරෙහි ඇති වූ බලපෑම් ඉක්මනින්ම තක්සේරු කිරීම සඳහා, FAO විසින් විපතට පත් සියලුම දිස්ත්‍රික්කවල කෘෂිකර්ම උපදේශකවරුන්, ධීවර නිලධාරිවරුන් සහ පශු සම්පත් නිලධාරිවරුන් සම්බන්ධකර මූලික තොරතුරු මූලාශ්‍ර සම්මුඛ සාකච්ඡා (KIIs) හරහා තොරතුරු ලබා ගන්නා ලදී. වී වගාවට දැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව, අනුරාධපුරය, පුත්තලම සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලටය. එම දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම්වලින් 75% කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් ගත හොත් සම්පූර්ණයෙන්ම වාගේ ගංවතුරින් යට වී ඇත. ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් වී වගාව මත යැපෙන මෙම දිස්ත්‍රික්කවලට ඉන් දැඩි අසමානුපාතික බලපෑමක් එල්ල වී තිබේ. මොනරාගල, මාතලේ, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කුඹුරු ඉඩම්වලින් 40% – 65% අතර ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර, වී වගාව මත දැඩි ලෙස රඳා පවතින ප්‍රජාවන්ට බලපෑම් එල්ල කරමින් බරපතල හානි එම දිස්ත්‍රික්කවලින් ද වාර්තා වී ඇත. ජාත්‍යන්තර ආපදා ප්‍රඥප්තිය (IDC) වෙතින් ලබාගත් චන්ද්‍රිකා දත්ත මෙන්ම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු සහ FAO විසින් වැඩි දියුණු කරන ලද දෙසතියකට වරක් යාවත්කාලීන වන CROPIX පද්ධතියෙන් ලබාගත් වී, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග (OFCs) පිළිබඳ වගා දත්ත ද FAO විසින් භාවිතා කරනු ලබයි. මෙම භූ-අවකාශීය දත්ත කට්ටල සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය තුළ තීරණාත්මක වූ අතර, එමගින් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක සහ සාක්ෂි පදනම් කරගත් තක්සේරුවක් සිදු කිරීමට හැකි විය. ගොවීන්ගේ සහ ධීවරයින්ගේ ජීවනෝපායන්ට සහ දේපළවලට සිදුව ඇති අලාභහානිවල ප්‍රමාණය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා FAO විසින් 5,000කට ආසන්න ගොවීන් සහ ධීවරයින් පිරිසක් සෘජුවම සම්බන්ධ කර ගනු ඇත.

සුළු පරිමාණ වී සහ එළවළු ගොවීන්ට සහ ධීවර ප්‍රජාවන්ට සහාය වීම සඳහා රජය සමඟ එක්ව සකස් කරන ලද යළි ගොඩනැගීමේ යෝජනා මාලාවක් ශ්‍රී ලංකාවේ FAO විසින් දැනටමත් සකස් කර ඇත. යළි ගොඩනැගීමේ සහාය සාක්ෂි මත පදනම් වූ, දේශගුණයට ඔරොත්තු දෙන සහ එය වඩාත්ම අවැසි පුද්ගලයින් වෙත යොමු වන බව සහතික කිරීම සඳහා රජය, ද්විපාර්ශ්වික පාර්ශවකරුවන් සහ බහුපාර්ශ්වික නියෝජිතායතන සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අපි සූදානමින් සිටිමු.

ශ්‍රී ලංකාවේ ගොවීහු සහ ධීවරයෝ තම ඔරොත්තු දීමේ හැකියාව වරින් වර ඔප්පු කර ඇත්තාහ. මෙම තීරණාත්මක මොහොතේ සම්බන්ධීකරණය කරන ලද සහ කාලෝචිත සහයෝගය මත, ඔවුන් යථා තත්ත්වයට පත්වී, තම ජීවනෝපායන් යළි ගොඩනගාගෙන, ජාතියේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍ය කාර්යභාරය අඛණ්ඩව ඉටු කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව