COVID-19 සටනේ පෙරමුණේ සිටින සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගම තවත් රොබෝ යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි

DG-Anil-Jasinghe-inspect-the-robots

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර මේවන විට ද කොරෝනා රෝගීන් සඳහා ම වෙන් වූ හෝමාගම මූලික රෝහලේත්, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේත් සාර්ථකව ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයාවන ඇට්ලස් සමාගම, මෙරට COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවිහිමියෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශයේ ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගයෙන් යුතුව මෙම රොබෝ යන්ත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය දියත් කළේය. මෙම නවත ම රොබෝ යන්ත්‍ර උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කිරීම, එම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකමින් ද යුතුවන අතර රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද සමන්විත බැවින් රෝගීන් සමග සෘජුව සම්බන්ධ වීම පාලනය කරමින් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරේ.

මෙම රොබෝ යන්ත්‍රවල අගය මනාව වටහා ගනිමින් වසංගතය පාලනය කිරීම සඳහා ඒවා යොදා ගැනීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ කොළඹ කළාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙලෙස අදහස් පළ කළේය. “ජාතික අවශ්‍යතාවක් මතු වී ඇති මොහොතක දේශීය සමාගමක්, කිසිඳු වාණිජ පරමාර්ථයකින් තොරව සමාජ සුබසෙත ඉලක්ක කර ගනිමින් මෙලෙස නවෝත්පාදන ව්‍යාපෘති සමගින් පෙරට පැමිණීම සැබවින් ම ඉතාම ප්‍රශංසනීයයි. මින් පෙර එම සමාගම පරිත්‍යාග කරන ලද රොබෝ යන්ත්‍ර දෙකම මුළුමනින් ම ක්‍රියාකාරීව පවතින අතර එමගින් රෝගීන් හට ප්‍රතිකාර කරන සෞඛ්‍ය අංශයේ කාර්යමණ්ඩලයට මනා සහයෝගයක් හිමි වෙනවා. එම සාර්ථකත්වය මත ගොඩ නගන ලද මෙම රොබෝ යන්ත්‍ර තුන ද COVID-19 සටන සඳහා අමිල මෙහෙයක් ඉටු කරනු ඇතැයි මාගේ විශ්වාසයයි.”

ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කෘත්‍රිම බුද්ධිමය (Artificial Intelligence) නවෝත්පාදන ගමනේ එක් අදියරක් ලෙස එම සමාගමේ නිෂ්පාදන සහ ඉංජිනේරු කණ්ඩායම විසින් මෙම රොබෝ යන්ත්‍ර ආකෘතිය මුල් වරට නිර්මාණය කරන ලද්දේ එහි කර්මාන්තශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහාය. වසංගත තත්ත්වය උද්ගත වීමත් සමග එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් මහතාගේ මූලිකත්වයෙන් එම රොබෝ ආකෘතිය සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා අනුව වැඩිදියුණු කෙරිණි. දයාන් හර්ෂ (තාක්ෂණ ප්‍රධානී), විජිත මුතුගල (ප්‍රධාන ඉංජිනේරු), සිරන්ත චූලරත්න, අනුරාධ නුවන්, ප්‍රසාද් නිරෝෂණ, එරන්ද අමිල, ජනක ලසන්ත, නිශාන්ත කුමාර, ශාලික අමරතුංග, ගයාන් අසංක සහ කුෂාන් නානායක්කාර යන පිරිසගෙන් සැදුම්ලත් තාක්ෂණ ඉංජිනේරු කණ්ඩායම දැඩි කැපවීමෙන් යුතුව මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීමට ඉදිරිපත් විය.

ඉරණවිල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිමුත් පොන්වීර මහතා ද ඇට්ලස් කණ්ඩායමේ මෙම ප්‍රයත්නය පිළිබඳ ප්‍රශංසා කළේය. “විශේෂයෙන් මෙහිදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දිවා-රෑ වෙහෙසී කැපවුණු විරාජ් ජයසූරිය මහතා සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳ සඳහන් කළ යුතුයි. ඔවුන් ද මෙම වසංගතය දුරලීම සඳහා දියත් කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියේ කොටස්කරුවන් බවයි මගේ හැඟීම”

COVID-19 සටන සඳහා වෙනත් නවොත්පාදකයන් විසින් නිර්මාණය කරන ලද රොබෝ ආකෘතිවල තාක්ෂණික ගැටළු විසඳීම සඳහා ද එම කණ්ඩායම සිය සහයෝගය ලබා දුන්නේය.

“වසර 60 කට අධික කාලයක පටන් ඇට්ලස් සමාගම ජාතික අරමුණු පෙරටුකර ගනිමින් ක්‍රියාත්මක වී තිබෙනවා. ලොව මෙතෙක් මුහුණ දී ඇති දරුණුත ම ආපදා අවස්ථාවකදී මෙරට සෞඛ්‍ය අංශයේ ආරක්ෂාව සඳහා මුළුමනින් ම දේශීය විසඳුමක් ලබා දීමට හැකි වීම අප ගෞරවයක් සේ සලකනවා,” යනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා ප්‍රකාශ කළේය.

වර්ෂ 1959 දී සිලෝන් පෙන්සිල් කම්පැනි (පුද්.) සමාගම නමින් ආරම්භ කර, මේ වනවිට ‘’ඇට්ලස් ඇක්සිලියා (පුද්.) සමාගම” නමින් ශ‍්‍රී ලංකාවේ පාසල් ලිපිද්‍රව්‍ය නිෂ්පාදන අංශයේ ප‍්‍රමුඛතම සමාගම බවට පත්වී ඇත. පාසල් දරුවන්ගේ අනාගත සාර්ථකත්වයට අත්වැලක් වීමේ අරමුණ පෙරදැරි කරගත් ඇට්ලස් සන්නාමය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප සන්නාමයක් බවට පත්වී තිබේ. ඒ නිසාම එම සමගම 2020 SLIM Nielson’s ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පාසල් සැපයුම් සන්නාමය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2018 වසරේදී ජාතික තත්ත්ව රන් සම්මානයෙන් සහ ජාතික සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශේෂ සම්මානයකින්ද, 2019 වසරේදී Global Performance Excellence  සම්මානයකින්ද පිදුම් ලැබී ය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව