Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2026 වසරේ දී අවසන් කිරීමට නියමිතව ඇත.

CoCT 4 (LBN)

Colours of Courage Trust, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ එක්ව කරාපිටිය ට්‍රේල් පිළිකා රෝහල් ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සමාරම්භක උත්සවයකින් අනතුරුව නැවත ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින පිළිකා ඒකකයේ සහායක ඒකකයක් ලෙස ඉදිකිරීමට යෝජිත මහල් 10 කින් යුත් මෙම නව පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් නිම වූ පසු නවීනතම තාක්ෂණයෙන් යුත් විකිරණවේද ඒකකයකින්, ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයකින්, ළමා වාට්ටුවකින්, ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින්, රසායනික චිකිත්සක ඒකකයකින්, ශල්‍යාගාර සහ ඇඳන් 160 කින් යුත් පිළිකා ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයකින් සමන්විත වනු ඇත. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අවට පළාත් වලින් පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වන අතර ඔවුනට අවශ්‍ය සහන සේවාවන් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මෙම ඒකකය ඉදිකිරීමේ අරමුණයි.
 



 
The Colours of Courage Trust (COC), මහරගම ජාතික පිළිකා ආයතනයේ ප්‍රතිකාර පහසුකම් නංවාලීම සඳහා කැප වූ ලාභ නොලබන සංවිධානයක් වන අතර එය නාතන් සිවගනනාදන් සහ මහේල ජයවර්ධන විසින් 2008 වසරේදී ආරම්භ කරනලදී. සාර්ථක අරමුදල් රැස්කිරීමේ වැඩසටහන් කිහිපයකින් පසුව, ජාතික පිළිකා ආයතනයේ අංග සම්පූර්ණ වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකයන් ඉදිකර නිමකරන ලදී.

ඉන් පසුව ‘Trail‘ ලෙස නම් කරන මෙම රෝහල් ව්‍යාපෘතිය ජනවාර්ගික අර්බුදය ආශ්‍රිත ගැටලු විසඳා සංහිඳියාව ඇති කිරීමට සහ මෙරට පිළිකා සත්කාරක පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ජනතාව ඒකරාශී කිරීම සඳහා නාතන් සිවගනනාදන් සහ සරින්ද උනම්බුවේ විසින් 2011 දී ආරම්භ කරන ලද Colours of Courage Trust (COC) හි මුලපිරීමකි. සමස්ත දකුණු පළාතේ සහ ඒ අවට දිස්ත්‍රික්කයන් හි පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකට ප්‍රතිකාර පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකෙරෙන මෙම කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහල් ව්‍යාපෘතිය COC සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර සාමූහික ප්‍රයත්නයකි.

‘Trail‘ විසින් උතුරු පළාතේ විකල්ප පිළිකා ප්‍රතිකාර පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව පුරා පා ගමනක් 2011 ජූලි මාසයේදී ආරම්භ කරන ලදී. එකල මෙරට පැවති විශාලතම සමූහ අරමුදල් සපයාගැනීමේ වැඩසටහන වූ ‘Trail 2011’ පාගමන සඳහා 30,000කට අධික පිරිසක් සහභාගී විය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර් 670ක දුරක් දින 27ක් තුළ ගමන් කළ මෙම පාගමනින් 2014 ජනවාරි මස ආරම්භ කළ යාපනයේ තෙලිපලෛ ‘Trail‘ පිළිකා රෝහල ඉදිකිරීමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලක් රැස්කර ගැනීමට හැකි විය. අද වන විට එම රෝහලෙන් රෝගීන් 800,000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන ඇත.

මීට අමතරව, එය විවෘත කළ දින සිට මේ දක්වා COC විසින් මෙම තෙලිප්පලෙයි ‘Trail‘ පිළිකා රෝහල් පරිශ්‍රය තුළ නව ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සිදුකර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් පමණ වටිනා උපකරණ ද ලබා දී ඇත. එමඟින් මසකට රෝගීන් 4,000 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබාදෙමින් එහි දිගුකාලීන ආයතනික අනුග්‍රාහකයින් හා එක්ව සනීපාරක්ෂක සේවා, ප්‍රතිසංස්කරණ සහ සමස්ත රෝහල් නඩත්තු කටයුතු සිදුකරමින් එය අඛණ්බව පවත්වාගෙන යයි.

‘Trail‘ 2011 වසරේ ලැබූ සාර්ථකත්වය සහ 2015 වසරේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ආශ්‍රිත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ Colours of Courage Trust (COC) තීරණය කළේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේද උසස් තත්ත්වයේ පිළිකා ප්‍රතිකාර සඳහා දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි. ඒ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පුළුල් කිරීමේ අරමුණින් Trail 2016 – The Walk Back’ ආරම්භ කරන ලදී. මෙවර ඒ වෙනුවෙන් ඔක්තෝබර් 6 වැනිදා සිට නොවැම්බර් 2 වැනිදා දක්වා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පාගමනක් සංවිධානය කරන ලදී.  250,000කට අධික පිරිසක් මේ සඳහා එක්වීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රජාවන් නියෝජනය කරමින් මේ වෙනුවෙන් සහයෝගය ලබාදුන් මිලියන 2.5කට අධික පිරිසකගේ කැපවීම සමඟින් රුපියල් මිලියන 750ක විශ්මයජනක මුදලක් රැස්කර ගැනීමට සමත් විය.

2018 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමට ආරම්භයේදී සැලසුම් කර තිබුනද අවාසනාවකට මෙන්, පෙර නොවූ විරූ හේතු සාධක රාශියක් හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට යාම නතර කර ඇත.

පළමු අදියර: අත්තිවාරම – දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ව්‍යාපෘතියේ අත්තිවාරම ඉදිකිරීම සඳහා අරමුදල් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් වූ අතර, ඉතිරිය සඳහා COC අරමුදල් සැපයීමට එකඟ වෙමින් 2018 ජුනි 11 වැනි දින අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදී. COC විසින් 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළද, විවිධ කැබිනට් අමාත්‍යාංශවල අනුමත ක්‍රියාවලීන් ප්‍රමාදවීම හේතුවෙන්, ව්‍යාපෘතියේ මෙම අදියර නිම කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත විය.

දෙවන අදියර: ගොඩනැගිලි ඉදිකිරීම – බාධාවකින් තොරව ඉදිකිරීම් කටයුතු කරගෙනයාමේ අපේක්ෂාවෙන් ආරම්භ කළද තවත් බාධක කිහිපයකට මුහුණ දීමට සිදුවිය.

  • ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුලදී මුදල් හිඟ වූ බවත්, අවසානයේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී COVID-19 හේතුවෙන් ව්‍යාපෘතිය අතරමඟ නතර වූ බවත්, හමුදාවට මෙම කාලය තුළ ඒ වෙනුවෙන් කැපවීමට නොහැකි වූ බවත් රජය ප්‍රකාශ කළේය.

 

  • පශ්චාත්-COVID-19 සමය – ආර්ථික අර්බුදයෙන් සහ රජයට එරෙහි විරෝධතාවලින් රට බැට කෑ අතර, නැවතත් හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛතාවයෙන් ඉවත් කරන ලදී. ඒ හේතුවෙන් අවබෝධතා ගිවිසුමට අනුව ඉදිකිරීම් ඉදිරියට ගෙනයාමට නොහැකි විය.

 

  • පෙර නොවූ විරූ ලෙස පිරිවැය ඉහළ යාම, විනිමය අනුපාතිකයේ උච්චාවචනය සහ ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දුෂ්කරතා වැනි ආර්ථික අර්බුදයේ බලපෑම් හේතුවෙන් ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද විය.

කෙසේ වෙතත්, ජනවාරි 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන දෙවැනි අදියරේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව, විශේෂිත කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු 2026 නව නිම කිරීමේ දිනය වන විට සපුරාලීම සඳහා නිසි මාර්ගයේ ගමන් කරන බව COC විසින් තහවුරු කර ඇත.

“නොවැළැක්විය හැකි ඉදිකිරීමේ ප්‍රමාදයන් නිසා මුල් විවෘත කිරීමේ දිනය වසර කිහිපයකින් පසු පසට දැමීමට සිදු වූ පසුව මෙම ව්‍යාපෘතිය දැන් නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයට අමතරව, ස්වේච්ඡා ශ්‍රම සහ තාක්ෂණික සහාය හරහා ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදීමට ප්‍රතිඥා ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා යුධ හමුදාවට අපි අතිශයින්ම කෘතඥ වෙනවා.” යනුවෙන් ‘Trail‘ හි සම-නිර්මාතෘ නාතන් සිවගනනාදන් මහතා අදහස් දක්වමින් පැවසීය.

කෙසේ වෙතත්, මෑත සිදුවීම් අනුව ව්‍යාපෘතියේ විෂය පථය අඩු කළද, ඉදිකිරීම් පිරිවැය තවමත් විශාල මූල්‍ය වගකීමක් ලෙස පවතී. මේ වන විට රැස් කරගෙන ඇති රුපියල් මිලියන 750 ක මුදල පළමු අදියරේ ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත. එහෙත් වර්තමාන පිරිවැය ඉහළ යාම අනුව, COC හට එහි මූල්‍ය අවශ්‍යතාවය නැවත ඇගයීමට සිදු වී ඇති අතර ඒ අනුව මේ වන විට ඒ සඳහා තවත් රුපියල් බිලියන 2.2 ක් අවශ්‍ය කර ඇත. පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වැඩි සහ සාධාරණ ප්‍රවේශයක් ලබා දීමේ ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් COC අඛණ්ඩ උත්සාහයක නිරතවන බැවින්, නැවත වරක් මෙම ව්‍යාපෘතිය සඳහා තම දායකත්වය ලබාදීමේ අවස්ථාව පරිත්‍යාගශීලීන්ට ලැබී ඇත.

කරාපිටිය ‘Trail‘ පිළිකා රෝහල් ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුත්ත සඳහා මූල්‍යයමය පරිත්‍යාගයන් සෘජුවම COC බැංකු ගිණුමට හෝ එහි වෙබ් අඩවිය හරහා ලබාදිය හැකි අතර ඉදිකිරීමේ ද්‍රව්‍ය සහ රෝහල් උපකරණ ද පරිත්‍යාග ලෙස භාරගනී.

නම:  Colours of Courage Trust (Guarantee) Ltd

ගිණුම් අංකය: 003010491671

බැංකුව: හැට්න් නැෂනල් බැංකුව

ශාඛාව: ප්‍රධාන කාර්යාල ශාඛාව,

ටී.බී. ජයා මාවත, කොළඹ 10

ස්විෆ්ට් කේතය: HBLILKLX
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව