CDB සමාගම NCGI ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ප්‍රථම ණය මුදල ප්‍රදානය කරයි

CDB

රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ක්‍රියාවට නංවන පුරෝගාමී වැඩසටහනක්

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම ජාතික ණය සුරැකුම් ආයතනයේ (National Credit Guarantee Institution Limited -NCGI) සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ප්‍රථම ණය මුදල ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධානතම අරමුණ වී තිබේ. වැලිමඩ ප්‍රදේශයේ කෘෂි ව්‍යවසායකයෙකු වන ඩබ්ලිව්. එම්. ජී. ප්‍රසන්න මහතා වෙත මෙම ණය මුදල ප්‍රදානය කරන ලද අතර, ඔහු විසින් එම මුදල සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීමට නියමිත ය.
 



 
දශකයකට අධික පළපුරුද්දක් හිමි කෘෂි ව්‍යවසායකයෙකු වන ඩබ්ලිව්. එම්. ජී. ප්‍රසන්න මහතා මෙම ණය මුදල භාවිතයෙන්, වැඩි අස්වැන්නක් ලබාදෙන කෙටිකාලීන භෝග වගාකිරීම සඳහා ජල සම්පාදන ක්‍රමවේදයක් සහිත පොලිටනල්(polytunnel) ගෘහයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙයි. දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් හමුවේ රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා මෙබඳු ක්‍රම මගින් සුවිශාල දායකත්වයක් ලැබෙනු නිසැක ය.

මෙවැනි වැඩසටහන් ඔස්සේ ව්‍යවසායකයන් නගසිටුවමින් රටේ ආර්ථික වර්ධනයට දිගින් දිගටම දායක වීම CDB සමාගමේ අරමුණ වී තිබේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරි වසර 3 ක කාලය තුළ නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය ක්ෂේත්‍රය යනාදී ක්ෂේත්‍ර වෙනුවෙන් ණය පහසුකම් ප්‍රදානය කෙරෙනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත ණය ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙන්ම ව්‍යවසායකත්වය හා ආර්ථික වර්ධනය දිරිගන්වන මුල්‍ය විසඳුම් නිර්මාණය කිරීම සඳහා නිසි  සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පිහිටුවීමටද CDB සමාගම පියවර ගෙන තිබේ.

ජාතික ණය සුරැකුම් ආයතනය යනු ශ්‍රී ලංකා රජය සහ CDB සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගම් 13 ක් අතර ඇතිකරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක ප්‍රතිඵලයකි. මෙහි මූලික අරමුණ වන්නේ මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ය. විශේෂයෙන්ම ණය පහසුකම් ලබාගැනීමේදී සුළු පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන, ඇප තැන්පත් කිරීමට නොහැකි වීම වැනි ගැටලු විසඳීමේ අරමුණින් මෙම ආයතනය පිහිටුවන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ අර්ධ ණය සුරැකුම් මගින් මුල්‍ය ආයතන මුහුණ දෙන අවදානම අවම කරනු ලබන අතර, ඒ ඔස්සේ සාමාන්‍යයෙන් මුල්‍ය පහසුකම් නොලබන ව්‍යාපාර හා ක්ෂේත්‍ර සඳහා ණය පහසුකම් ලබාදීමට මුල්‍ය ආයතන දිරිගන්වනු ලැබේ.

මෙම ණය යෝජනා ක්‍රමය, ව්‍යවසායකත්වය හා මුල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කරමින් රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්ම සමගද මැනැවින් සමගාමී වේ. මෙය විසඳුම් මූලික කරගත් ප්‍රායෝගික ප්‍රවේශයක් ඔස්සේ ව්‍යාපාර බලගන්වමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා දරනු ලබන ඵලදායී ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැක.

CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසුවේ, මෙය හුදෙක් තිරසර වර්ධනයක් වෙනුවෙන් ව්‍යවසායකයන්ට අවශ්‍ය සම්පත් ලබාදීමක් පමණක් නොව, ජාතික ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ගන්නා ලද සුවිශේෂී උත්සාහයක්ද වන බවයි.

මෙම ණය මුදල පිරිනැමීම සම්බන්ධයෙන් ස්තූතිය පළකළ ඩබ්ලිව්. එම්. ජී. ප්‍රසන්න මහතා පැවසුවේ තමන්ට දීර්ඝ කාලයක පටන් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට යාමට අවශ්‍ය වී තිබූ බවයි. පළපුරුදු කෘෂි ව්‍යවසායකයෙකු වන තමන්ට දැන් නවතම කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතා කරමින් ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබී ඇති බවත්, මෙබඳු සහයෝගයක් ලබාදීම වෙනුවෙන් CDB සමාගමට සහ ජාතික ණය සුරැකුම් ආයතනයට ස්තූතිවන්ත වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

“ජාතික ණය සුරැකුම් ආයතනය සමග ඇතිකරගත් මෙම එකඟතාව, රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වඩාත් පහසුවෙන් මුල්‍ය සේවා ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහා ගනු ලබන දිගුකාලීන ප්‍රයත්නයක්. ඉදිරියටත් මෙම ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වෙමින්, වඩාත් ශක්තිමත් හා අභියෝගවලට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප කැප වී සිටිනවා.” CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසී ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව