Caravan Fresh මගින් අලෙවි කරනු ලබන සෑම පාන් රාත්තලකින්ම රු. 10 ක මුදලක් OrphanCare අරමුදලට පරිත්‍යාග කිරීමට ගිවිසුම් අත්සන් කෙරේ

Caravan Fresh - OrphanCare

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදන සමාගමක් වන Caravan Fresh සහ OrphanCare භාරය අතර විශේෂ හවුල්කාරීත්වයකට එළඹීම පසුගියදා සිදු විය.  දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට වයස අවුරුදු 18 පිරීමෙන් අනතුරුව සිය ළමා නිවාස අත්හැර යාමට සිදුවීම තුළින් ඔවුන් සමාජය තුළ දෙවැනි වරටත් අත්හැර දැමීමට ඇති අවදානම අවම කිරීම සඳහා කැපවුණු සමාජ සත්කාර ක්‍රියාන්විතයක නිරත වන OrphanCare භාරය පුරා වසර 5 ක පටන් මේ දක්වා එම මෙහෙවරෙහි  අඛණ්ඩව කටයුතු කරයි.
 



 

මෙම නව හවුල්කාරීත්වය යටතේ Caravan Fresh ජාලය මගින් අලෙවි කරනු ලබන සෑම ග්‍රෑම් 550 ක පාන් රාත්තලකින්ම  රු. 10/- ක මුදලක් OrphanCare අරමුදල වෙත බැර කෙරේ. මෙය දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සහ ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම තුළින් ඔවුන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීමේ මෙහෙවරට සෘජුව දායක වීමකි. එමෙන්ම මෙය රටේ රැකවරණය අහිමි තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා OrphanCare භාරය දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Caravan Fresh විසින් ගන්නා ලද ප්‍රශංසනීය පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

“ප්‍රණීත ආහාරපාන සපයමින් සමාජය පෝෂණය කිරීමට කැප වී සිටින Caravan Fresh සමාගම මෙලෙස OrphanCare භාරය සමග අත්වැල් බැඳගැනීම මගින් ප්‍රජා සහයෝගිතාව සම්බන්ධයෙන් අප දරන ආකල්පවලට සමගාමී තවත් මෙහෙවරකට දායක වීමට අපට හැකියාව ලැබෙනවා. මේ අනුව මින් ඉදිරියට, අපගේ පාන් නිශ්පාදන  මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රටේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සවිබල ගැන්වීමේ උදාර මෙහෙවරට දායක වීමට සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා.” Caravan Fresh සාමාන්‍යාධිකාරී ආරුමුගම් පද්මනාදන් මහතා පැවසී ය.

“OrphanCare වැඩසටහනේ පරමාර්ථය වන්නේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන් සමාජය තුළ දෙවැනි වරටත් අත්හැර දමනු ලැබීමක් සිදු නොවන පසුබිමක් නිර්මාණය කිරීමයි. Caravan Fresh ලබාදෙන මෙම නොමසුරු දායකත්වය වෙනුවෙන් අප එම ආයතනයට බෙහෙවින් කෘතඥ වනවා. මේ හවුල්කාරීත්වය තුළින් අපට මෙම දරුවන්ගේ ජීවිත තුළ අර්ථවත් වෙනසක් ඇතිකරමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් තිළිණ කිරීමට හැකි වේවි.” OrphanCare ප්‍රධානී අසාඩ් සහීඩ් මහතා පැවසී ය.

2019 වසරේදී ස්වාධීන භාර අරමුදලක් ලෙස ආරම්භ කරන ලද OrphanCare වැඩසටහනේ අරමුණ වන්නේ, වයස අවුරුදු 18 පිරීමෙන් අනතුරුව ළමා නිවාස අත්හැර යාමට සිදුවන, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ය. ඒ වෙනුවෙන් OrphanCare වැඩසටහන මගින් සුභසාධන ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 10 වන ඉලක්කය වන ‘අසමානතා අවම කිරීම’ යන්නට සමගාමී මෙහෙවරකි. OrphanCare වැඩසටහනේ එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, අරමුදල වෙත ලැබෙන සියලුම මූල්‍යමය ප්‍රදානයන් සෘජුවම ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරීම ය. OrphanCare වැඩසටහනේ ආරම්භක අනුග්‍රාහකයා වන අමානා බැංකුව අඛණ්ඩව එහි සියලු මෙහෙයුම් සහ පරිපාලන වියදම් දැරීම සිදුකරයි. සමාජ සේවය සම්බන්ධ ඉමහත් උනන්දුවක් සහිත ප්‍රවීණයන් පිරිසක් විසින් OrphanCare වැඩසටහනේ පරිපාලන කටයුතු සිදුකරනු ලබනු අතර, ඔවුන් විසින් එම වැඩසටහනේ විශ්වාසනීයත්වය සහ දීර්ඝකාලීන තිරසාරත්වය සහතික කිරීම සඳහා ශක්තිමත් පාලන රමුවක්ද ස්ථාපිත කර තිබේ.

OrphanCare වැඩසටහන සහ එයට දායක විය හැකි ආකාරයන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.orphancare.org වෙත පිවිසෙන්න. නැතිනම් 011 775 6 775 අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව