British Council වෙතින් පාසල් දරුවන් වෙනුවෙන් ‘Reading Challenge’

British Council 1

British Council මගින් පවත්වනු ලබන ‘Reading for Life’ පොත් කියවීමේ අභියෝගය සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පසුගියදා සමත් වූහ.

2024 මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී සති 6 ක කාලයක් පුරා පවත්වන ලද මෙම පොත් කියවීමේ අභියෝගයට Polymath College හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 150 කට අධික පිරිසක් සහභාගී වූ අතර අභියෝගය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන්ට සහතිකපත් පිරිනමන ලදී. මෙම කාලය තුළදී එම දරුවන් අවම වශයෙන් පොත් 6 ක් සම්පූර්ණයෙන් කියවා අවසන් කළ යුතු විය.

 



 

“කියවීම යනු වාග් කෝෂය දියුණු කරගැනීමට සහ අලුත් දේවල් ඉගෙන ගැනීමට ඇති ඉතා හොඳ ක්‍රමයක්. කියවීම මගින් දරුවන්ට අලුත් අවස්ථා රාශියක් උදා වෙනවා. ඒ ඔස්සේ ඔවුන් අලුත් සංස්කෘතීන්ට, ආකල්පවලට සහ ගැටලුවලට නිරාවරණය වෙනවා. එය ඔවුන්ගේ පරිකල්පන හැකියාව සහ නිර්මාණශීලීත්වය වර්ධනය වීමට උපකාරී වන දෙයක්.” British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

මෙම කියවීමේ අභියෝගය සඳහා පොත් ලබාදෙනු ලබන්නේ British Council Sri Lanka හි පුස්තකාලය මගිනි. සීතා බ්‍රහ්මචාරී සහ සෝෆී ඇන්ඩර්සන් යන කතුවරියන්ගේ කෘති ඇතුළුව අලුත් පොත්පත් රාශියක් 2024 වසරේදී British Council පුස්තකාලයට එකතු විය. Diary of a Wimpy Kid සහ Harry Potter වැනි අතිශය ජනප්‍රිය කථාමාලාවන් මෙන්ම රෝල්ඩ් ඩාල් සහ මයිකල් මෝපර්ගෝ වැනි ජනප්‍රිය කතුවරුන්ගේ පොත් එම පොත් එකතුවට ඇතුළත් වී ඇත. ඊට අමතරව, ඉතාමත් පුළුල් පරාසයක පැතිරුණු තවත් පොත්පත් රාශියක් British Council පුස්තකාලය වෙතින් පරිශීලනය කළ හැකි වේ.

“මෙම අභියෝගයේ අරමුණ වුණේ දරුවන්ට කියවීමෙන් විනෝදයක් පමණක් නොව ජයග්‍රහණයක්ද ලබාගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙහිදී විවිධ කර්තෘවරුන්ගේ කෘති පරිශීලනය කරන අතරම ඒවා ගැන තම මිතුරු මිතුරියන් සමග කථා කිරීමට අප ඔවුන් දිරිගන්වනවා. මෙහිදී ඔවුන්ට ලැබෙන අභියෝගය වන්නේ, සති හයක කාලයක් තුළ පොත් හයක් කියවීමයි. කියවීමට අමතරව, මෙම අභියෝගයේ කොටසක් වශයෙන් ඔවුන්ට ඒ පොත් පිළිබඳව තම වයස් කාණ්ඩයට ගැළපෙන විචාර ලියන ආකාරයත් ඉගෙන ගැනීමට පුළුවන්. මෙම අභියෝගයට එක්වෙමින්, සාහිත්‍ය විශ්වයේ දොරටු විවර කරගෙන ඉතා හොඳ පාඨකයන් බවට පත්වන අතරම තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවන් වැඩිදියුණු කරගනිමින් සිටින මේ දරුවන් සියලුම දෙනාට මගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. එමෙන්ම ඉදිරියේදී තවත් Cambridge හවුල්කාර පාසල් මෙම අභියෝගයට එක්වේවි කියා අප බලාපොරොත්තු වනවා.” ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

British Council පුස්තකාල මගින් නිතිපතා විවිධාකාර සාහිත්‍ය වැඩසටහන් සංවිධානය කරනු ලබයි. එමෙන්ම British Council මගින් ඩිජිටල් පුස්තකාලයක්ද පවත්වාගෙන යනු ලබන අතර, ශ්‍රී ලංකාවේ පොත්හල්වලින් සාමාන්‍යයෙන් මිලදීගත නොහැකි පොත්පත් දහස් ගණනක් එම පුස්තකාලය හරහා පරිශීලනය කළ හැකි වේ.

කොළඹ, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවල British Council පුස්තකාල පිහිටුවා ඇති අතර මාතර APEX හි වෙනම කියවීමේ අවකාශයක් වෙන්කර තිබේ. මෙම පුස්තකාලවල ඇති සමස්ත පොත්පත් සංඛ්‍යාව 65,000 කට අධික ය.

British Council ඩිජිටල් පුස්තකාලයේ ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන කෘති, පරිසරය, අභිරහස්, ආදර කථා යනාදී විවිධ ශානරවලට අයත් පොත් 16,000 වැඩි සංඛ්‍යාවක් සහ ශ්‍රව්‍ය පොත් 2,500 කට වැඩි සංඛ්‍යාවක් ලැයිස්තුගත වී ඇත. එමෙන්ම පර්යේෂණ ප්‍රකාශන, විද්වත් සඟරා සහ ලිපිලේඛන 10,000 කට අධික සංඛ්‍යාවක් සහ රටවල් 145 ක භාෂා 65 කින් පළවන පුවපත්පත් සහ සඟරා 13,000 කට අධික සංඛ්‍යාවක්ද එහිදී පරිශීලනය කළ හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව