‘Brain Busters with SLIIT’ දෙවැනි අදියර සාර්ථකව නිමාවෙයි

Image 1 (6)

 

සුහද තරගකාරීත්වය ඔස්සේ ඉගෙනුම් විශිෂ්ටත්වය කරා සිසුන් කැඳවාගෙන යන ‘Brain Busters with SLIIT’ රූපවාහිනී දැනුම මිනුම තරගාවලියේ දෙවැනි අදියර (season 2) පසුගියදා රත්මලාන ස්ටෙයින් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය.

මාතර සුජාතා විද්‍යාලයේ ටෙෂිනි එච්. රුවන්පතිරණ සිසුවියට තරගාවලියේ ජයග්‍රහණය හිමි වූ අතර කොළඹ රාජකීය විදුහලේ විලාන් සන්දීව් බණ්ඩාර කරුණාරත්න හා කොළඹ ආනන්දු විදුහලේ සොනාල් රණතුංග පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත් වූහ.

මෙම සිසුන් තිදෙනා, 2019 ඔක්තෝබර් මාසයේ පැවැති අවසාන පූර්ව වටයට එක්ව සිටි සිසුන් 27 දෙනා අතරින් වැඩිම ලකුණු රැස් කරගනිමින් අවසාන වටයට පිවිසීම ද කැපී පෙනේ. සම්මාන හා සහතික පත්‍රවලට අමතරව තරග වටවලදී ආකර්ෂණීය මුදල් ත්‍යාග දිනාගැනීමට ද අවසාන වටයේ සියලු තරගකරුවන්ට හැකිවිය.

අවසාන වටයේදී ජයග්‍රහණ වාර්තා කළ සිසුන්ගේ පාසල්වලට ද වටිනා මුදල් ත්‍යාග පිරිනැමුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් උදිත ගමගේ මහතා සහ අසංගි ජයසිංහ මෙනෙවියත්, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ දර්ශන විජේසිංහ මහතාත් අවසාන වටයේ විනිශ්චයකරුවන් ලෙස සම්බන්ධ වූහ.

SLIIT උප කුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහචාර්ය ලලිත් ගමගේ, කුලපති හා සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි, සංවර්ධන සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ උදිත ගමගේ සහ ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී අසංගි ජයසිංහ යන මහත්ම මහත්මීහු ජයග්‍රාහකයින්ට සහ පාසල් නියෝජිතයින්ට සම්මාන පිරිනැමූහ.

ජයග්‍රාහකයින් සහ රැස්ව සිටි පිරිස අමතමින් මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “සියලු තරගකරුවන්ට සුබපැතුම්. ජීවිත සඵල කිරීම සඳහා දැනුම වැඩිදියුණු කිරීම, වර්ධනය කිරීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම SLIIT ආයතනයේ දැක්ම යි. අධ්‍යාපනය යනු දීර්ඝ චාරිකාවක් බව මාගේ විශ්වාසයයි. ඉගෙන ගන්නා අතරතුරදී ගෝලීය ප්‍රශ්න වටහා ගනිමින් අප අවට සිදුවන දේ ගැනත්, අපි අවබෝධ කරගත යුතුයි. අපට නිසි විසඳුම් කරා එළඹිය හැක්කේ මේ ගැටලු ගැන හොඳ අවබෝධයක් හා වැටහීමක් පැවතුණහොත් පමණයි. අපි Brain Busters තරගාවලිය සැලසුම් කළේ අපේ රටේ පාසල් සිසුන්ගේ සාමාන්‍ය දැනුම ඉහළ නැංවීමත්, ඔවුන්ගේ සිතීමේ ශක්තිය වැඩිදියුණු කිරීමත්, නවෝත්පාදනය සඳහා ඔවුන් දිරිමත් කිරීමත් අරමුණු කරගනිමිනුයි” මහාචාර්ය ගමගේ පැවසීය.

තරගාවලියේ මූලික වට සඳහා දිවයින පුරා පාසල් 100කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන පාසල් සිසුහු 3,000ක් පමණ එක්ව සිටියහ. ඒ අතුරින් ඉහළ ම ලකුණු රැස් කළ පාසල් 27ක් අවසාන පූර්ව වටයට එක්වූ අතර TV1 නාලිකාව ඔස්සේ එය විකාශනය විය.

“ ‘Bain Busters with SLIIT’ වැඩසටහන අපි සැලසුම් කළේ නව්‍ය චින්තනය දිරිමත් කිරීම හා කාලීන සිදුවීම් ගැන අවබෝධයත්, සාමාන්‍ය දැනුමත් පැවතීමේ වටිනාකම සිසුන්ට අවධාරණය කිරීම අරමුණු කරගෙනයි” යනුවෙන් උදිත ගමගේ මහතා තරගාවලියේ වැදගත්කම විස්තර කරමින් පැවසීය.

අවසාන පූර්ව වටයේ රූපවාහිනී තරග වට ජයග්‍රාහකයින් අතරට කොළඹ රාජකීය, මහනුවර පුෂ්පදාන, කොළඹ නාලන්දා, කොළඹ ආනන්ද, කොළඹ විසාඛා, කොළඹ මියුසියස්, ගාල්ල මහින්ද, අනුරාධපුර මධ්‍ය මහා විදුහල සහ මාතර සුජාතා යන විදුහල් අයත් විය.

මෙම රූපවාහිනී තරග වට අතරතුරදී  SLIIT හි විවිධ පීඨාධිපතිවරු සහ අධ්‍යක්ෂවරු පාසල් සිසුන් දිරිගැන්වීමේ දේශන පැවැත්වීම ද කැපීපෙනුණි.

මෙම රූපවාහිනී දැනුම මිනුම තරගාවලියේ දෙවැනි අදියරේ සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් SLIIT Brain Busters ව්‍යාපෘති අධ්‍යක්ෂිකා සහ SLIIT ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී අසංගි ජයසිංහ මෙනෙවිය මෙසේ පැවසුවාය. “ ‘Brain Busters with SLIIT – Season 2’ වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ඉතාම ආඩම්බරයට පත්වෙනවා. ආයතනයක් ලෙස සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරව කටයුතු කිරීමේ වැදගත්කමත් අපි වටහාගෙන ඉන්නවා. මෙම වැඩසටහන හරහා විනෝදාත්මක සහ එකිනෙක බැඳුණු ක්‍රියාකාරකම් හරහා තමන්ගේ දැනුම මැන බැලීමටත්, තමන් ජීවත් වන ලෝකය තේරුම් ගැනීමටත් පාසල් සිසුන්ට අවස්ථාව හිමිවනවා. ඒ වගේම ඔවුන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට කදිම වේදිකාවක් නිර්මාණය කරන මෙම ජනප්‍රිය දැනුම මිනුම තරගාවලියෙහි අදියර දෙකක් සම්පූර්ණ කිරීමෙන් ලද සාර්ථකත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා”.

‘Brain Busters with SLIIT‘ රූපවාහිනී දැනුම මිනුම තරගාවලිය TV1 නාලිකාව හරහා සෙනසුරාදා දිනවල විකාශය වූ අතර පහත සබැඳිය ඔස්සේ එහි අවසන් තරගය නැරඹිය හැක.

facebook.com/sliit.lk/videos/712666569551755/

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව