AkzoNobel අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කරයි

AkzoNobel 1 (LBN)

 



 

 

AkzoNobel Paints සමාගම අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමට මෑතකදී කටයුතු කළේ ය. මීට අදාළ ගිවිසුමට 2023 ජනවාරි 20 දින අත්සන් තබන ලදි. සුප්‍රකට Dulux තීන්ත නිපදවන AkzoNobel Paints සමාගම ලොව ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමකි.

මේ වනවිට රටවල් 24 ක් සමග පවත්වාගෙන යන මෙම හවුල්කාරීත්වය, AkzoNobel Paints සමාගමේ ‘Let’s Colour’ වැඩසටහනේ එක් අදියරකි. නොයෙක් දුෂ්කරතා සහිත පසුබිම්වලින් පැමිණි තරුණ තරුණියන් අතර විරැකියාව අවම කිරීම සඳහා ඔවුන්ගේ දැනුම සහ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මේ යටතේ වෘත්තීය මට්ටමේ පින්තාරුකරණය හා අලුත්වැඩියාව, ව්‍යවසායකත්වය සහ මෘදු කුසලතා සංවර්ධනය සම්බන්ධ මගපෙන්වීම් හා පුහුණු වැඩසටහන් සංවිධානය කෙරෙන අතර, තරුණ පරපුරට රැකියා සොයාගැනීමට ඇති අවස්ථා පුළුල් කරමින්, පෞද්ගලික හා සමාජයීය වශයෙන් වගකීම්සහගත, සාර්ථක හා ස්වාධීන වැඩිහිටියන් පිරිසක් නිර්මාණය කිරීම එහි පරමාර්ථයයි.

SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය යටතේ, එම ගම්මානවල වෙසෙන දරු දැරියන්, තරුණ තරුණියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ජීවත් වන නිවාස වැඩිදියුණු කිරීම සහ අලංකාර කිරීම සඳහා Dulux තීන්ත ප්‍රදානය කිරීම සිදුකෙරේ. මීට අමතරව, AkzoNobel කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වය සමගින්, SOS ළමා ගම්මානවල වෙසෙන දරු දැරියන්ට සිය ජීවිත සාර්ථක කරගැනීම සඳහා මගපෙන්වීම් ලබාදීම සහ ඔවුන් දිරිමත් කිරීමද සිදුකෙරේ.

ආරම්භයේ සිට මේ දක්වා මෙම හවුල්කාරීත්වය යටතේ දරු දැරියන් සහ තරුණ තරුණියන් 34,000 කට වැඩි පිරිසකට සෙත සැලසී ඇති අතර, 9,400 කට අධික තරුණ තරුණියන් පිරිසකට නිල වශයෙන් පුහුණුව ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පමණක් දරුවන් 700 කට අධික පරිසකට පුහුණුව ලබා දී ඇති අතර, ඔවුන්ට රැකියා අවස්ථා උදාකරගෙන රටට වැඩදායී පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර දී තිබේ.

“SOS ළමා ගම්මාන වැඩසටහන යනු මිල කළ නොහැකි මෙහෙවරක් ඉටුකරන සංවිධානයක්. දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා එම සංවිධානය සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. මේ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කරමින්, මේ දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට අනාගතයේ රැකියා සොයාගැනීමට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් සැපයීමට හැකිවීම මට මහත් සතුටක්.” AkzoNobel Sri Lanka සමාගමේ අලෙවි ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

“වසර ගණනාවක් පුරා AkzoNobel සහ එහි කාර්ය මණ්ඩලය අපගේ ළමා ගම්මානවල වෙසෙන දරු දැරියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැනුම හා පුහුණුව මෙන්ම, ඔවුන්ගේ නිවාස වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය අත්වැලද ලබා දී තිබෙනවා. හුදෙක් යහපත් ක්‍රියාවක් සිදුකිරීමෙන් නොනැවතී, දරිද්‍රතාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ ජීවිත පූර්ණ වෙනසකට ලක්කිරීමට ඔවුන් දක්වන උනන්දුව ප්‍රශංසනීයයි. සමාජ සත්කාර  සම්බන්ධයෙන් අපගේ දැක්මට සමාන දැක්මක් සහිත AkzoNobel සමග පවත්වාගෙන යන මේ හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට හැකි වීම මට මහත් සතුටක්.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව