AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත්වේ.!

aia

 



 

 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත් කළ බව ප්‍රකාශකර සිටියි.  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව  මෙම පත්වීම 2022 මැයි  මස 1වනදා  සිට බල පවත්වනු ඇත.  ඇය AIA ඉන්ෂුවරන්ස් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ප්‍රථම කාන්තාව වෙනු ඇති අතර, එම ධුරයේ මෙතෙක් නිරතවූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වන නිඛිල් අද්වානී මහතා AIA  සමූහයේ තායිලන්ත කාර්යාලයේ, ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබා ඇත.

චතුරි මුනවීර මහත්මිය ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 25කට අධික ඉහළ අත්දැකීම් සහිත විධායක නිලධාරිනියකි.  ඇය AIA ඉන්ෂුවරන්ස් හි (AIA ශ්‍රී ලංකා) නීති සහ මෙහෙයුම් පිලිබඳ අධ්‍යක්ෂක වරියද වන අතර ජීවිත මෙහෙයුම්, ආයතනික නීති, සමාගම් ලේඛක කටයුතු පිළිබඳව  සහ භාහිර සබඳතා පිළිබඳව ද වගකීම් දරයි.  එමෙන්ම මුනවීර මහත්මිය සමාගමේ මානව සම්පත් පිලිබඳ සහ අනුකූලතා පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර ඇත.  වසර 2006 යේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ විධායක කමිටු සාමාජිකාවක් වූ ඇය සමාගමේ ක්‍රමෝපායික සැලසුම් සහ ව්‍යාපාර ජයග්‍රහණ වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටුකර ඇත.

චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම,  AIA සමූහයේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිතයක් බවට පත්කිරීමට අදාළ සංකීර්ණ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමේ කර්තව්‍ය සඳහා නායකත්වය දී කටයුතු කලාය.   එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් වෙත සේවාලාභියෙකු සම්බන්ද වූ දින සිට සැලසුම කල්පිරෙන දින දක්වා වන ගමන්මග තුළ සේවාලාභියා සහ උපදේශකවරයා අතර තිබිය යුතු සහය සඳහා වන ඩිජිටලකරණ සහ ක්‍රියාවලීන්හි පරිණාමන කාර්යභාරය ඇයගේ වගකීම යටතේ සිදු වූ අතර ඒ සඳහා AIA සමූහය ඇතුලත වසර 2021 හි දී ‘වඩාත් වැඩිදියුණු’ කරන ලද රටට අදාළ ඇගයීම් කිහිපයකින්ම AIA ශ්‍රී ලංකා සමාගම පිදුම් ලැබීය.  තවද ඩිජිටල්කරණ ක්‍රියාවලීන් ඔස්සේ සහ බැංකු මගින් ක්‍රියාත්මක වන මුදල් භාවිතයෙන් තොර වාරික එකතු කිරීමේ ක්‍රම මගින් සම්පූර්ණ වාරික එක්රැස් කිරීම වැඩිවර්ධනය කිරීම සහ සේවාලාභීන් සුරැකීම සඳහා වන ක්‍රමවේද හදුන්වා දෙමින්, මෙහෙයුම් අංශයට අදාළ විවිධ වෙනස්කම් සිදුකරමින් ඒ ඔස්සේ නව ව්‍යාපාරයන් හි අලෙවි කාර්යක්ෂමතාවය මෙන්ම දැනට බලසහිත ව්‍යාපාරයන් හි ගුණාත්මක භාවය වැඩිවර්ධන කරගැනීම යන මේ සියලු කර්තව්‍යන් ඇයගේ නායකත්වය යටතේ සිදුවිය.

           

කොළඹ විශාකා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ චතුරි මුනවීර මහත්මිය නීතිවෙදිනියක් (ශ්‍රී ලංකා නීති විද්‍යාලය) වන අතර ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ  නීතිය පිළිබඳ උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ද හිමිකම් කියයි.  ඇය එක්සත් රාජධානියේ පුද්ගල හා සංවර්ධනය පිලිබඳ ආයතනයේ වරළත් සාමාජිකාවක් වන අතර එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මැන්චෙස්ටර් ව්‍යාපාර විද්‍යාලයෙන් පිරිනමන ලද අනුකූලතා සඳහා ජාත්‍යන්තර ඩිප්ලෝමාවක්ද (උපාදිධාරී) ඇය සතුය.

චතුරි මුණවීර මහත්මිය, IFC-DFAT SheWorks ශ්‍රී ලංකා සහයෝගීතාවය මගින් #TogetherWeCan වැඩසටහන දියත් කරන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව පුරාවට කාන්තා පුරුෂ සමානාත්මතාව පිළිබඳව පුරෝගාමීත්වයක් ගෙන කටයුතු කරන්නා වූ 16 දෙනාගෙන් එක් අයෙකු ලෙස ද  ඇගයීමට ලක්විය.   මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ පුද්ගලික අංශය තුළ කාන්තාවන්හට රැකියා අවස්ථා වැඩි කිරීමට මාර්ගය සැකසීමයි.

ධුරයෙන් පිටව යන ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානී මහතා AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සමගින් සම්බන්ද වන්නේ වසර 2016 දීය.   අද්වානී මහතා යටතේ සමාගම නවතම ජීවිත රක්ෂණ සැලසුම් රැසක් හදුන්වා දෙන ලද අතර ඔහු  සිය  ධුර කාලය තුළ දී විශේෂයෙන් සෞඛ්‍ය වෙළෙඳපොලට අදාළ සැලසුම් පුළුල් කළේය.  2019 වසරේ දී  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක ධූරයට පත් වූ අද්වානි මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදු වූ අසීරුතම ආර්ථික අභියෝගයන්ට සාර්ථක මුහුණ දීමට සමාගමට හැකි වූ අතර මූල්‍යමය වශයෙන් වූ ප්‍රධාන කාර්යසාධන දර්ශකයන් ජයග්‍රහණය කරමින් ශක්තිමත් ප්‍රතිපල අත්පත් කරගැනීමටත් සමාගමට හැකිවිය. 2011 වසරේ දී AIA සමූහය සමගින් බෙදාහැරීම් අලෙවි අංශ- සමූහ ප්‍රධානී ලෙස සම්බන්ද වූ අද්වානී මහතා 2016 වසරේ දී AIA ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සහ සේවාලාභී ක්‍රමෝපාය සහ පරිනාමන අධ්‍යක්ෂක ලෙස පත්වීම් ලැබීය.   රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රය තුල වසර 26කට අධික අත්දැකීම් සමුදායක් අද්වානි මහතා සතුව ඇත.

AIA සමූහයේ ප්‍රාදේශීය ප්‍රධාන විධායක නිලධාරී සහ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ සභාපති බිල් ලයිල් සිය අදහස් දක්වමින් කියා සිටියේ “චතුරි මුනවීර මහත්මිය AIA ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වීම් ලැබීමට ඇති සූදානම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.  ප්‍රධාන විධායක ධුර භූමිකාවක් හෙබවීම සඳහා අවශ්‍ය අත්දැකීම් සමුදායක් පසුගිය වසර ගණනාව පුරාවට ඇය එක්රැස් කරගෙන තිබෙන අතර අඛණ්ඩ සාර්ථකත්වය කරා යාමට ඇයට හොඳ සූදානමක් ඇතිබව නිසැකයි.  මම ඇයට හදවතින්ම සුභ පතන අතර ඇයගේ නායකත්වය යටතේ  සමාගමේ ඉදිරි ගමන්මග තුළ එහි වර්ධනයේ ධනාත්මක ප්‍රවේගය වඩාත් වේගවත් වෙනු ඇතිබව මගේ විශ්වාසයයි. එමෙන්ම අසමසම නායකත්වයක් ඔස්සේ අත්පත් කරගත් සුවිශේෂී කාර්යසාධනය වෙනුවෙන් නිඛිල් අද්වානී මහතාට මම මගේ උණුසුම් සුබ පැතුම් එක්කර සිටින අතර AIA තායිලන්ත කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සාර්ථක ගමනක් යාම සඳහා ඔහුට සුබ පැතුම් එක්කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව