AI වැඩසටහන් මගින් මෙතෙක් පැවති ආයතනික ව්‍යුහයන් වෙනස් වී ආදායමද ඉහළ යනු ඇතැයි APAC කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 75% ක් විශ්වාස කරන බව Salesforce පර්යේෂණයකින් හෙළි වේ

Salesforce-Logo-700x394 (1)

මීට වසර 5 කට පෙර ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 63% ක්ම AI පිළිබඳව ගතානුගතික ආකල්ප දැරූ නමුත් එම ප්‍රමාණය මේ වන විට 3% ක් දක්වා අඩු වී ඇති අතර, AI යනු තවදුරටත් නැගී එන තාක්ෂණයක් පමණක් නොව එය ක්‍රමෝපායික මෙවලමක් මට්ටමට දියුණු වී ඇති බව ඔවුහු දැන් විශ්වාස කරති.

  



 

 2025 අගෝස්තු 19, ඉන්දියාව: කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence (AI) සම්බන්ධයෙන් ආසියානු පැසිෆික් (APAC) කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අනුගමනය කරන ප්‍රවේශය මේ වන විට මුළුමනින්ම වෙනස් වී ඇති බව Salesforce මගින් සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඒ අනුව ඔවුන් දැන් AI යනු මුදල් ඉතිරි කරගැනීම සඳහා පමණක් නොව, දීර්ඝකාලීනව ආදායම් ජනනය කිරීම සඳහා භාවිතා කළ හැකි තාක්ෂණයක් ලෙස පිළිගනිමින් සිටින අතර, ඒ වෙනුවෙන් ප්‍රවේශම්කාරී ලෙස මුදල් වැයකිරීමේ සිට ක්‍රමෝපායික ආයෝජන සිදුකිරීම දක්වා ඔවුන්ගේ ආකල්ප වෙනස් වී ඇත.

2020 කාලසීමාව වන විටත් මෙම නිලධාරීන් අතරින් 63% ක්ම AI සම්බන්ධයෙන් ගතානුගතික අදහස් දැරූ නමුත් අද වන විට එම ප්‍රතිශතය 3% දක්වා පහළ ගොස් තිබේ. ඉතා කෙටි කාලයක් තුළ සිදු වී ඇති මෙම පරිවර්තනය මගින් පෙනී යන්නේ මෙම නිලධාරීන් දැන් AI තාක්ෂණය හුදෙක් නැගී එන තාක්ෂණයක් ලෙස නොව, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සහ දීර්ඝකාලීන වර්ධනයක් ළඟා කරගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස දකින බවයි.

තාක්ෂණික ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ප්‍රධාන මූල්‍ය නිලධාරීන් තුළ පවතින ආකල්ප, මෙම පර්යේෂණයේ දත්ත මගින්ද පැහැදිලි වේ. මේ වන විට ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 50% ක්ම පවසන්නේ AI Agents හෙවත් යම් යම් ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදු කළ හැකි ඩිජිටල් ශ්‍රමය යන සාධකය, තාක්ෂණ ආයෝජන මගින් ලැබෙන ප්‍රතිලාභ ගණනය කරන ආකාරය වෙනස් කරමින් සිටින බවයි. මෙහිදී ඔවුන්ට සාම්ප්‍රදායික මිනුම්දඬුවලින් ඔබ්බට ගොස්, වඩාත් පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාරික ප්‍රතිලාභ සැලකිල්ලට ගැනීමට සිදු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Salesforce හි සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් හා මූල්‍ය නිලධාරී රොබින් වොෂිංටන් මහතා පැවසුවේ, ඩිජිටල් ශ්‍රමය හඳුන්වා දීම යනු හුදෙක් තාක්ෂණික වැඩිදියුණු කිරීමක් පමණක් නොව, එය ප්‍රධාන මූල්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගත් විට තීරණාත්මක සහ ක්‍රමෝපායික වෙනසක් නියෝජනය කරන්නක් බවයි. AI වැඩසටහන් භාවිතයට ගැනීම මගින් හුදෙක් ව්‍යාපාරික ආකෘති වෙනස් වීම පමණක් නොව, ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරට අදාළ විෂය පථය පූර්ණ පරිවර්තනයකට ලක්වීමද සිදු වේ. මේ ආකාරයට එම තනතුර හුදෙක් මූල්‍ය භාරකරුවෙකුගේ සීමාවේ සිට ආයතනික වටිනාකම් නිර්මාණකරුවෙකු දක්වා විතැන් වීම තුළ අපට මෙය නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා නව අදහස් හා ආකල්ප අවශ්‍ය වනු ඇත.

පසුගිය වසරේදී ලොව පුරා ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 65% කටම තාක්ෂණික ආයෝජන කඩිනම් කිරීම සම්බන්ධ පීඩනයන්ට මුහණ දීමට සිදු විය. අද වන විට ඔවුන් AI යනු හුදෙක් කෙටිකාලීනව වියදම් අවම කරගැනීමේ ක්‍රමයක් පමණක් නොවන බවත්, ඇත්ත වශයෙන්ම එය ආදායම වර්ධනය වීම, ඵලදායීතාව ඉහළ යාම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම වීම වැනි දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාදෙන ව්‍යාපාරික මෙවලමක් බවත් වටහාගෙන සිටිති.

සමීක්ෂණය වෙනුවෙන් අදහස් දැක්වූ එක් ප්‍රධාන මූල්‍ය නිලධාරියෙකු කියා සිටියේ පැරණි තාක්ෂණයන් වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ ක්ෂණික සහ මැන බැලිය හැකි ප්‍රතිඵලවලට සීමා වන නමුත් AI යනු අඛණ්ඩව ක්‍රියාවලියක් සමග නව ව්‍යාපාර ආකෘති හරහා දීර්ඝකාලීන ප්‍රතිලාභ ලබාදෙන තාක්ෂණයක් බවයි.

 

දත්ත හා සංඛ්‍යාලේඛන

ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් ක්‍රමයෙන් AI සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේගකාරී ක්‍රමෝපායන් භාවිතයට ගැනීමට පෙළඹෙමින් සිටිති.

  • වසර 5 කට පෙර මෙම කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් තුනෙන් දෙකක් (63%) ම සාම්ප්‍රදායික AI ක්‍රමෝපායන් අනුගමනය කළ අතර, ඔවුන් අතරින් තුනෙන් එකක් වසර දෙකකට පමණ ඉහත කාලසීමාව වන තුරුම අනුගමනය කළේ එවැනි ප්‍රතිපත්තියකි.
  • දැන් ඔවුන් අතරින් ගතානුගතික AI ක්‍රමෝපායන් අනුගමනය කරනුයේ 3% ක් පමණි. එමෙන්ම ඔවුන් අතරින් තුනෙන් එකක්ම AI සම්බන්ධයෙන් නිල වශයෙන් වඩාත් ප්‍රවේගකාරී ප්‍රවේශයක් වෙත යොමු වී සිටිති.

 

ආසියානු කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් හතරෙන් එකක් පමණ තම AI ප්‍රතිපාදන AI Agents වෙනුවෙන් වැයකරමින් සිටින අතර, එය ඔවුන් පිරිවැය සම්බන්ධයෙන් දරන ආකල්ප මුළුමනින්ම පාහේ වෙනස් කරමින් සිටී.

  • ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 23% ක්, තම AI ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම AI Agents වෙනුවෙන් යොදවන බව පැවසූහ.
  • වත්මන් ආර්ථික පරිසරය තුළ තරගකාරීව සිටීම සඳහා AI Agents/ඩිජිටල් ශ්‍රමය තීරණාත්මක සාධකයක් බවත්, එය ඉදිරියටත් එලෙසින්ම පවතිනු ඇති බවත් ඔවුන් අතරින් 60% ක්ම පැවසූහ.
  • ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 62% ක් පැවසුවේ ව්‍යාපාර තම මුදල් වැයකරන ආකාරය සම්බන්ධයෙන් තමන් දැරූ ආකල්පය AI Agents/ඩිජිටල් ශ්‍රමය විසින් වෙනස් කරමින් සිටින බවයි.
    • ඔවුන් අතරින් තුනෙන් එකකට ආසන්න පිරිසක් (32%), AI සම්බන්ධ තාක්ෂණික ආයෝජනවලදී වඩාත් නිර්භීතව තීරණ ගත යුතු බව විශ්වාස කරති.

 

AI Agents මගින් සාමාන්‍ය සහ ක්‍රමෝපායික වශයෙන් වැදගත් කාර්යයන් ඉටුකරනු ලබන නිසා පිරිවැය අවම වන අතරම ආදායම ඉහළ යන බව ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීහු පවසති.

  • ඔවුන් අතරින් 75% ක්ම විශ්වාස කරනුයේ AI Agents මගින් පිරිවැය අවම වීමට අමතරව ආදායම වර්ධනය වීමද සිදු වන බවයි.
  • AI Agents මගින් තම සමාගම්වල ආදායම 20% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ යනු ඇතැයි ඒවා භාවිතා කරන ප්‍රධාන මූල්‍ය නිලධාරීහු බලාපොරොත්තු වෙති.
  • ඔවුන් අතරින් 77% ක්ම පවසන්නේ AI Agents මගින් තම ව්‍යාපාරික ආකෘතිය පූර්ණ පරිවර්තනයකට ලක්වනු ඇති බවයි.
  • AI Agents මගින් ඉදිරියේදී නිතිපතා සිදුකරන සාමාන්‍ය ක්‍රියාකාරකම් පමණක් නොව වඩාත් ක්‍රමෝපායික කාර්යයන්ද ඉටුකරගැනීමට හැකි වනු ඇතැයි ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 58% ක් විශ්වාස කරති.

 

ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීහු මේ වන විට AI තාක්ෂණය ක්‍රමෝපායික හවුල්කරුවෙකු ලෙස දැකීමට පෙළඹී සිටිති.

  • ඔවුන් අතරින් 83% ක්ම ව්‍යාපාරික තීරණ සඳහා වැඩි වැඩියෙන් AI තාක්ෂණය භාවිතයට ගනිමින් සිටිති.
    • මෙම නිලධාරීන් විසින් AI Agents වෙත වැඩි වශයෙන්ම පවරන කාර්යයන් තුන වන්නේ අවදානම් තක්සේරු කිරීම (85%), මූල්‍ය පුරෝකථනය (65%) සහ ලාභදායිතාව තක්සේරු කිරීම (58%) ය.

AI Agents භාවිතය ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් ව්‍යාපාර ආයෝජනවල ප්‍රතිලාභ තක්සේරු කරන ආකාරය වෙනස් කරමින් සිටින අතර, සාම්ප්‍රදායික මිනුම්වලින් ඔබ්බට ගොස් පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාරික ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමට ඔවුහු පෙළඹී සිටිති.

  • මෙම ප්‍රධාන මූල්‍ය නිලධාරීන් අතරින් 50% ක්ම පවසන්නේ, AI agents භාවිතය තුළින් තමන් ආයෝජන ප්‍රතිලාභ තක්සේරු කරන ආකාරය වෙනස් වී ඇති බවයි.
    • “සාම්ප්‍රදායික තාක්‍ෂණික ආයෝජනවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ පහසුවෙන් දැකගත හැකි ක්ෂණික මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධවයි. නමුත් AI ප්‍රතිලාභ දිගු හා කෙටිකාලීන ප්‍රතිලාභවල සම්මිශ්‍රණයක්. එහිදී ප්‍රධාන කාර්යසාධන දර්ශක යටතේ අවධානය යොමුවන්නේ ව්‍යාපාරික ප්‍රතිඵල සම්බන්ධවයි.” – සමීක්ෂණය දායක වූ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු දැක්වූ අදහස්

 

  • AI Agents හඳුන්වා දීමත් සමග AI ආයෝජනවල ප්‍රතිලාභ තක්සේරු කිරීමේදී හුදෙක් සෘජු ඉතුරුම් පමණක් නොව, ආසන්න-කාලීන ප්‍රතිලාභ ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගැනීමට සිදු වී ඇත.
    • ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම (අංක 1)
    • අවදානම් සහ අනුකූලතා මට්ටම් වැඩිදියුණු වීම (අංක 2)
    • පිරිවැය අවම වීම හෝ ශූන්‍ය වීම (අංක 3)

 

  • එමෙන්ම AI යනු වඩාත් හොඳ මූල්‍ය පාලනයක් හරහා ආයෝජන සඳහා ප්‍රතිලාභ ලබාගත හැකි ක්‍රමයක් බව ප්‍රධාන මූල්‍ය නිලධාරීහු විශ්වාස කරති.
    • “AI මගින් සජීවීව අයවැය නිරීක්ෂණය සිදු වෙනවා. එමගින් වඩාත් හොඳින් පුරෝකථන සිදුකිරීමට හැකි වන අතර, වඩාත් හොඳ මූල්‍ය පාලනයක් ඔස්සේ පමණ ඉක්මවා පිරිවැය දැරීමට සිදුවීම වළක්වාලමින් ආයෝජනවලින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වෙනවා.” – සමීක්ෂණය දායක වූ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු දැක්වූ අදහස්

 

  • ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ තක්සේරු කිරීමේදී කෙටිකාලීන ප්‍රතිඵල කෙරෙහි නොව දිගුකාලීන සාර්ථකත්වය කෙරෙහි අවධානය යොමුකිරීමට ප්‍රධාන මූල්‍ය නිලධාරීන්ට සිදු වී ඇත.
    • ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීන් AI සම්බන්ධයෙන් දකින ප්‍රධාන ගැටලු දෙකක් වන්නේ ආරක්ෂාව හෝ පෞද්ගලිකත්වයට ඇතිවන තර්ජන (68%) සහ ආයෝජන සඳහා ප්‍රතිලාභ ලැබීමට දිගු කලක් ගතවීමයි (62%).
      • “වෙනත් තාක්ෂණයන් භාවිතා කිරීමේදී සාමාන්‍යයෙන් AI නිසා පැනනගින ආචාරධාර්මික අවදානම් බලපාන්නේ නැහැ. AI සම්බන්ධයෙන් වැරදීමක් සිදු වුවහොත්, ආයතනයේ කීර්තිනාමයට සිදු වන හානිය ඔස්සේ ආයෝජන මගින් ලැබෙන ප්‍රතිලාභවලට ඇති වන බලපෑම සාමාන්‍ය මෙවලම්වලට වඩා බෙහෙවින් වෙනස්.” – සමීක්ෂණය දායක වූ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු දැක්වූ අදහස්
      • “AI ආකෘති නැවත පුහුණු කිරීම, නිරීක්ෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජන සිදු කළ යුතුයි. එම නිසා AI වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ, වෙනත් ස්ථාවර ක්‍රියාකාරී මෙවලම් භාවිතයට වඩා වෙනස්.” – සමීක්ෂණය දායක වූ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයෙකු දැක්වූ අදහස්

 

වැඩිදුර තොරතුරු සඳහා ජාත්‍යන්තර වාර්තාව කියවන්න.  

 

විධික්‍රමය:

Salesforce විසින් Morning Consult සමග එක් වී AMER, EMEA සහ APAC කලාපවල රටාවල් 24 ක ප්‍රධාන මූල්‍ය නිලධාරීන් 261 ක් සම්බන්ධ කරගනිමින් Double-blind ක්‍රමයට මාර්ගගත සමීක්ෂණයක් පවත්වන ලදි. ආසියානු පැසිෆික් කලාපය තුළ සිදුකළ සමීක්ෂණයට ඔස්ට්‍රේලියාව, ඉන්දියව, ජපානය, නවසීලන්තය, සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් 60 දෙනෙක් දායක වූහ.

Home  Facebook 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව