ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපතිනිය හා මුදල් අමාත්‍යවරයා අතර දීර්ඝ සාකච්ඡාවක්

Norwegian Ambassador calls on the Finance Minister

 




 

 

ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති වශයෙන් කටයුතු කරන ගරු. ට්‍රීනා යුරන්ලි එස්කෙඩාල් මැතිණිය සහ   ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් අතර ඊයේ දිනයේදී සාකච්ඡාමය හමුවක් පැවැති බව නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව තුල නෝර්වේජියානු ආයෝජන ඉහළ නැංවීම, කොවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ ආර්ථික අභියෝග මෙන්ම ඉදිරි වර්ෂ කිහිපය තුල මෙරට ආර්ථිකය නැවත යථාතත්ත්වයට පත්කිරීම වැනි මාතෘකාවන් එහිදී සාකච්ඡාවට ඉලක්කවී තිබුනි. මෙහිදී ශ්‍රී ලංකාව විසින් සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙන එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිතුමිය එතුමියගේ සුබපැතුම් අමාත්‍යවරයාට ප්‍රකාශ කර සිටින ලද අතර, කොවිඩ් වසංගතය පාලනය වීමත් සමග විශේෂයෙන්ම මෙරටට විශාල විදේශ විනිමයක් රැගෙන එන සංචාරක ව්‍යාපාරය නැවතත් නැගී සිටිනු ඇති බවටද සිය අදහස් දැක්වූවාය. කොවිඩ්-19 ගෝලීය වසංගතය විසින් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් වෙත ඇතිකර තිබෙන අහිතකර බලපෑම් නිසා එම රටවල් මුහුණ දෙමින් සිටින අභියෝග හා බොහෝ රටවල්වල ඇතිවූ රැකියා අහිමිවීම් හමුවේ එම රටවල් නැවත නැගී සිටින්නට දරන උත්සාහයන් පිළිබඳව එතුමිය මෙහිදී අදහස් පළ කර සිටි අතර, එකී අභියෝගයන් සාර්ථකව ජයගැනීම සඳහා ‍නෝර්වේ රාජ්‍යය කටයුතු කළ ආකාරයද ගරු අමාත්‍යතුමන් වෙත පැහැදිලි කර සිටියාය. ජනාධිපතිතුමන්ගේ දැක්ම අනුව, ශ්‍රී ලංකා‍ව තුල සිදුකෙරෙන පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඉහළ නැංවීම හා එම අරමුණ සාර්ථක කරගැනීමේ ක්‍රමවේද පිළිබඳවද මෙම සාකච්ඡාවේදී දෙපාර්ශයෙහිම අදහස් බෙදාගැනීම සිදුවිය.

නෝර්වේජියානු තානාපති කාර්යා‍ලයේ නියෝජ්‍ය ප්‍රධානී හිල්ඩා බර්ග්-හැන්සන් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් පී. එම්. අම්සා මහතා, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සම-ලේකම් ඇන්ටන් පෙරේරා මහතා හා ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව