සෙලින්කෝ ලයිෆ් සේවා සඳහා පූර්ණ ප‍්‍රවේශය ලබා දෙන ‘සේලයිෆ් ඩිජිටල්’ පාරිභෝගික ඇප් සේවාව හඳුන්වා දෙයි

Ceylife-Digital-App-launch

 




 

 

වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට නව රක්ෂණ ඔප්පු මිල දී ගැනීමේ සහ වාරික මුදල් පියවීමේ අවස්ථාව ද ඇතුළුව රක්ෂණ ආශ‍්‍රිත සේවාවන්වලට බාධාවකින් තොරව ප‍්‍රවේශය ඇඟිලි තුඩුවලටම ලබා දෙමින් ‘සේලයිෆ් ඩිජිටල්‘ ජංගම දුරකථන යෙදවුම (මොබයිල් ඇප්) සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුන්වා දී ඇත.

සේලයිෆ් ඩිජිටල් යෙදවුම ඩවුන්ලෝඞ් කර ඇන්ඩ්‍රොයිඞ්, IOS සහ හුවාවේ හාමනි OS යන දුරකථන මෙහෙයුම් පද්දති මත භාවිත කළ හැක. ඉංග‍්‍රීසි භාෂාවෙන් දියත් කරන ලද මෙම යෙදවුම භාෂා තුනෙන්ම භාවිත කළ හැකි පරිදි වැඩිදියුණු කිරීමට නියමිත අතර එමගින් පාරිභෝගිකයන්ට කැමති භාෂාවෙන් ප‍්‍රවේශ වීමට හැකි වන බව සමාගම පවසයි.

ගනුදෙනුකරුවන්ට ක්ෂණිකව සහ පැය 24 පුරාම පහසුකම් සැපයිය හැකි ලෙස මෙන්ම පාරිභෝගික නොවන අයට සොයා බැලිය හැකි ලෙසත් නිර්මාණය කර ඇති සේලයිෆ් ඩිජිටල් යෙදවුම හරහා ඔප්පු හිමියන්ට සෙලින්කෝ ලයිෆ් පාරිභෝගිකයන් ලෙස ලියාපදිංචි වීමේ හැකියාව, ඔවුන්ගේ ඔප්පුවල ක‍්‍රියාකාරිත්වය දැනගැනීමේ හැකියාව, එක් එක් ඔප්පුවට අදාළ ප‍්‍රතිලාභ වෙන්ව දැනගැනීමේ හැකියාව, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පතක් භාවිතයෙන් ඔවුන්ගේ වාරික මුදල් ආරක්ෂිතව ගෙවීමේ හැකියාව, ගෙවීම් සොයා බැලීමේ සහ තහවුරු කිරීමේ හැකියාව මෙන්ම මාර්ගගතව (ඔන්ලයින්) ජීවිත, විශ‍්‍රාම හෝ ආයෝජන ඔප්පුවක් මිල දී ගැනීමේ හැකියාව ද ලබා දී ඇත.

තවද, පරිශීලකයන්ට ඇප් සේවාව හරහා සේවා සඳහා ඉල්ලූම් කිරීමට, ජීවිත රක්ෂණ පිළිබඳ විස්තර දැනගැනීමට, සමාගමට අදාළ ප‍්‍රවෘත්ති හා ප‍්‍රවර්ධන අංශ වෙත ප‍්‍රවේශ වීමට මෙන්ම රට පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා ගැන තොරතුරු බැලීමටත් පිහිටීම දැනගැනීමටත් හැකියාව ඇත.

සෙලින්කෝ ලයිෆ් ශාඛාවකට පැමිණීමෙන් හෝ නියෝජිතයෙකු සමඟ භෞතික සම්බන්ධතාවක් පැවැත්වීමෙන් තොරව පුද්ගලයෙකුට රක්ෂණ ඔප්පුවක් මිල දී ගෙන එහි කාලසීමාව පුරා පවත්වා ගෙන යා හැකි ලෙස භෞතික සම්බන්ධතා රහිත රක්ෂණයක් සඳහා මෙම ඇප් සේවාව අවස්ථාව සපයන බව ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් පවසයි. මෙම ඇප් සේවාව නිර්මාණය කරන ලද්දේ මූල්‍ය සහ රක්ෂණ තාක්ෂණ විසඳුම් සැපයීමෙහි පුරෝගාමියෙකු වන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන එපික් ලංකා සමාගම විසිනි.

නව යෙදවුම හඳුන්වා දීම පිළිබඳව සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා මෙසේ පැවසීය: “විශේෂයෙන් කෝවිඞ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීමට සමාජ දුරස්ථභාවය අත්‍යවශ්‍ය වන කාලයක, පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් සැපයීම වෙනුවෙන් තාක්ෂණය හරහා ලබාගත හැකි සෑම අවස්ථාවක්ම සෙලින්කෝ ලයිෆ් සමාගම භාවිත කරන ආකාරය ගැන ‘සේලයිෆ් ඩිජිටල්’ තවත් උදාහරණයක්. අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම අපගේ රක්ෂණ ඔප්පු කෙරෙහි උනන්දුවක් දක්වන අයට, ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් අපගේ සේවාවන් ගැන සොයා බැලීමටත් අවශ්‍ය සියලූ ගනුදෙනු ඩිජිටල් ආකාරයෙන් සිදු කිරීමටත් මෙම යෙදවුම මිත‍්‍රශීලී නියෝජිතයෙකු ලෙස ක‍්‍රියා කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. “

2020 අපේ‍්‍රල් මාසයේ, සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි නිරෝධානය ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේ දී සෙලින්කෝ ලයිෆ් සමාගම තම වෙබ් අඩවිය (www.ceylincolife.com) හරහා ගෙවීම් කළ හැකි සංකීර්ණ නොවන මාර්ගගත ජීවිත රක්ෂණ සහ විශ‍්‍රාමික සැලසුම් සමඟ  ‘Contactless Life Insurance’ (භෞතික සබඳතා රහිත ජීවිත රක්ෂණ) හඳුන්වා දුන්නේ ය. රක්ෂණ ඔප්පු කල් ඉකුත් නොවීම, හිමිකම් පියවීමට පහසුකම් සැලසීම සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා එය වෙබ් පදනම් කරගත්, ජංගම දුරකථන පදනම් කරගත් සහ දුරකථන යෙදවුම් (මොබයිල් ඇප්) පදනම් කරගත් විකල්පය ගෙවීම් ක‍්‍රමද ඒ හරහා සක‍්‍රිය කෙරිණි.

මීට අමතරව පසුගිය වසරේ ජනවාරි මාසයේ දී සමාගමේ වෙබ් අඩවියේ මුල් පිටුවේ ස්ථාපිත ‘සෙලීනා‘ චැට්බොට් යෙදවුම දියත් කරන ලදි. පැය 24ම සේවය කරන ‘සෙලිනා‘, රක්ෂණයට අදාළ සියළුම ප‍්‍රශ්නවලට ක්ෂණිකව පිළිතුරු ලබා දෙන අතර ප‍්‍රයෝජනවත් වන නිශ්චිත වෙබ් පිටු වෙත අමුත්තන් යොමු කරයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work®  විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව