MAS සමූහයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ පදනමට රු. මිලියන 130 ක මුදල් පරිත්‍යාගයක්

Picture 02 - 3D Image of the Cardiac and Critical Care Complex

 




 

 

2021 මැයි 21, කොළඹ: MAS සමූහ ව්‍යාපාරය සහ එහි කාර්ය මණ්ඩලය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Hearts’ පදනමට දායක වීම සඳහා ලබාදුන් ප්‍රතිඥාව ඉටුකරමින්, අදාළ මුදල් පරිත්‍යාගය සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහල යනු ලොව විශාලතම ළමා රෝහල් අතරින් එකක් වන අතර, එමගින් ක්‍රියාවට නංවා ඇති ‘Little Hearts’ පදනම ඔස්සේ දරුවන්ගේ හෘද ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

2019 වසරේදී ශ්‍රී ලංකා ළමා වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් කරන ලද ඉල්ලීමකට අනුව MAS සමූහ ව්‍යාපාරය ‘Little Hearts’ පදනම වෙනුවෙන් අරමුදල් රැස්කිරීම ආරම්භ කළේ ය. මෙහිදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉල්ලීම වූයේ, දරුවන්ගේ හෘද ආශ්‍රිත රෝග  සහ දැඩි සත්කාර ඒකක සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රු. මිලියන 100 ක මුදලක් සපයා ගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය විසින් සිදුකිරීමට නියමිතව තිබිණි. MAS කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සහ, ඊට සමාන මුදලක් සමාගම මගින් පරිත්‍යාග කිරීම තුළින්, අපේක්ෂා කළ මට්ටමටත් වඩා, එනම් රු. මිලියන 130 ක මුදලක් සපයා දීමට MAS සමූහ ව්‍යාපාරයට හැකියාව ලැබිණි.

Little Hearts අරමුදලට බැර වූ මුදල් සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගය සමගින්, 2020 වසරේදී අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ විය. මෙම හෘද ආශ්‍රිත රෝග ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකක සංකීර්ණය මහල් 12 කින් යුක්ත වන අතර, මේ වනවිට එහි මහල් 9 ක ඉදිකිරීම් අවසන් වී තිබේ. මෙම ගොඩනැගිල්ලට කැතීටරකරණ රසායනාගාරයක් සහ හදවත් සැත්කම් සිදුකරන ශල්‍යාගාර ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වන අතර, මෙමගින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව 18 සිට 36 දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම මීට සායනික සහ අලුත උපන් දරුවන් සඳහා වන දැඩි සත්කාර ඇඳන් 70 ක්, පූර්ණ පහසුකම් සහිත අස්ථි මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මෙන්ම හෘද ආශ්‍රිත රෝග පරීක්ෂා කිරීමේ විශේෂ කලාප සහ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ පහසුකම්ද ඇතුළත් වේ.

මීට අමතරව, රු. මිලියන 18 ක වටිනාකමකින් යුත් එකෝකාඩියෝග්‍රෆි යන්ත්‍රයක් (Echocardiography machine) මිලදී ගැනීම සඳහාද රිජ්වේ ආර්යා ළමා රෝහල MAS සමූහ ව්‍යාපාරයේ සහයෝගය ඉල්ලා සිටියේ ය. දැනට රෝහල සතුව මෙම යන්ත්‍ර දෙකක් ඇති අතර, ඒවා වසර 12 කට වඩා පැරණි ය. මෙම යන්ත්‍ර මගින් වසරකට හදවත් පරීක්ෂාවන් 20,000 කට වඩා සිදුකෙරේ. දරුවෙකුගේ ඉදිරි ජීවිතය කාලය පුරාවටම ඔහුගේ හෝ ඇයගේ හදවතේ ක්‍රියාකාරීත්වය කළමනාකරණය කළ යුතු ආකාරය හඳුනා ගැනීමට නම්, මෙම පරීක්ෂණ වල නිරවද්‍යතාව අතිශයින් වැදගත් ය. මූලික අරමුදල් රැස්කිරීමේදී එම මුදල් සඳහා හිමිවූ පොලිය භාවිතා කිරීම මගින්, මෙම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය අතිරේක මුදල් ප්‍රමාණය ලබාදීමට MAS සමූහයට හැකියාව ලැබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, MAS සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අජේ අමලියන් මහතා මෙසේ පැවසී ය. “මේ ආකාරයට Little Hearts ව්‍යාපෘතියට සහයෝගය ලබාදීමට හැකිවීම අප ලද ගෞරවයක් ලෙස අප සලකනවා. සමාජයීය භාරකාරත්වය (Social Stewardship) යනු අපගේ ව්‍යාපාරික මූලධර්ම වල අනිවාර්ය අංගයක්. ඒ වගේම, මෙම සත්කාරය මගින් පෙනී යන්නේ, රටටත් එහි ජනතාවටත් අත්වැලක් අවශ්‍ය මොහොතේදී අත්වැලක් වීමට MAS සමූහය කෙතරම් උනන්දුවකින් යුතුව ඉදිරිපත් වන්නේද යන්නයි. Little Hearts ව්‍යාපෘතියට දායක වන මෙන් රටේ අනෙකුත් සමාගම් වලින්ද මා ඉමහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිනවා. සාමූහික උත්සාහයක් මගින් අපට රටට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ සලසමින්, රටේ දරුවන්ට ලැබෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීමට දායක වීමට හැකියාව ලැබේවි.”

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන්, ළමා හදවත් රෝග විශේෂඥ වෛද්‍ය සහ Little Hearts ව්‍යපෘති අධ්‍යක්ෂ දුමින්ද සමරසිංහ මහතා මෙසේ පැවසී ය. “අපගේ උත්සාහය සාර්ථක කරගැනීමට ලබාදුන් දායකත්වය වෙනුවෙන් MAS සමූහ ව්‍යාපාරයට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. සෑම දිනකම ශ්‍රී ලංකාවේ දරුවන් අට දෙනෙකු සහජ හදවත් රෝග හෝ අසාධ්‍ය රෝග නිසා මියයනවා. එහෙත් වඩාත් දියුණු පහසුකම් තිබෙනවා නම් ඔවුන් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරාගන්නට අපට පුළුවන්. රටේ අනෙකුත් සමාගම්ද MAS සමූහය මෙන් කල්පනා කර, මේ ගොඩනැගිල්ලේ වැඩකටයුතු සම්පූර්ණ කරගැනීමට සහ එකෝකාඩියෝග්‍රෆි යන්ත්‍ර වැනි පහසුකම් මිලදී ගැනීමට අපට සහයෝගය ලබාදෙනවා නම්, දරුවන් බොහෝ දෙනෙකුට ජීවත් වීමේ අවස්ථාව ලබාදීමට අපට හැකිවේවි. ඒ වගේම එබඳු සත්කාරයක් මගින්, රටේ පවුල් දහස් ගණනකට, තම දරුවන්ගේ ජීවිත ආරක්ෂා වී, ඔවුන් අනාගතයේදී රටට වැඩදායී පුරවැසියන් බවට පත්වනු දැකීමේ වාසනාව හිමිවේවි. MAS කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය, රටේ දරුවන්ගේ යහපත සම්බන්ධයෙන් තමන් දැඩි උනන්දුවක් දක්වන බව පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එය අනෙකුත් සමාගම් හා ආයතන වලට හොඳ ආදර්ශයක්.”

මෙම ප්‍රජා සත්කාරය, MAS සමූහ ව්‍යාපාරය දැනට ක්‍රියාත්මක කර ඇති සමාජයීය හා පාරිසරික තිරසාරත්ව වැඩසටහන් රැසක් අතරින් එක් වැඩසටහනක් පමණි. මීට අමතරව, දැනට පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් නංවාලීම සඳහා ව්‍යපෘති රැසක් ක්‍රියාවට නැංවීමට MAS සමූහය කටයුතු කර ඇත.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට තවත් අරමුදල් අවශ්‍යව ඇති නිසා, දරුවන්ගේ හෘද ආශ්‍රිත රෝග වලට පිළියම් සෙවීමේ ජාතික උත්සාහයට දායක වෙමින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීම සඳහා තම සහයෝගය ලබාදෙන මෙන්, එම රෝහල සියලු පාර්ශ්වයන්ට ආරාධනා කර සිටී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව