විදේශ විනිමය ඉපැයීම් ඇ.ඩො.මි 600ක් ඉක්මවා යමින් හේලීස් රුපියල් බිලියන 19.23ක විශිෂ්ට බදු පෙර ලාභයක් වාර්තා කරයි

Image 02

 




 

2020/21 මූල්‍ය වර්ෂය තුළ වසර 143ක් වන සිය සමාගම් ඉතිහාසයේ ඉහළම ආදායම හා ලාභය වාර්තා කිරීමට හේලීස් සමූහය සමත් වී ඇත. ආදායම රුපියල් බිලියන 241.28ක් දක්වා ඉහළ යද්දී ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.05ක් ලෙස පැවති අතර එය ආදායමෙන් 6%කි. කොටස්හිමියන් සඳහා ලැබිය යුතු ලාභය පසුගිය වසරේ රුපියල් මිලියන 372.42කට සාපේක්ෂව රුපියල් බිලියන 7.64ක් දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනේ. සමූහයේ ප‍්‍රධාන වශයෙන් අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල කැපී පෙනෙන වර්ධනය, ‘හේස්මාර්ට්’ (Haysmart) වැඩසටහන හරහා සම්පත් වඩාත් විධිමත්ව භාවිතා කිරීම හා පිරිවැය අඩු කිරීම කෙරෙහි දැඩිව අවධානය යොමු කිරීමත් පසුගිය වසරේ කොවිඞ්-19 වසංගතය පැතිරීමත් සමඟ පැන නැගුනු සංකීර්ණතාවලට සාර්ථකව මුහුණ දීමට සමූහය සතු වූ උපායමාර්ගික හැකියාවත් මෙම කාර්යසාධනය සඳහා හේතු වී ඇත.

ආරක්ෂිත අත් වැසුම්, පවිත‍්‍රකරණය සහ රෙදිපිළි යන ක්ෂේත‍්‍ර ඇතුළුව අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් සමූහයේ ආදායම රුපියල් බිලියන 241.28ක් දක්වා ඉහළ ගොස් ඇත. විදේශ විනිමය ඉපැයීම් ඇ.ඩො.මි 600ක් ඉක්මවා යාමත් සමඟ මෙරට ලැයිස්තුගත සමාගම් අතර වටිනාකම් එක්කළ විශාලතම අපනයන සමාගම බවට පත් විය. ප‍්‍රධාන වශයෙන් අපනයන අරමුණු කරගත් ව්‍යාපාරවල මූලික ලාභදායීත්වය වැඩි වීම හේතුවෙන් දළ ලාභය 22%කින් ඉහළ ගොස් ඇත. සමාගමේ ක‍්‍රියාකාරකම් මට්ටම්වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට තිබියදීත් පරිපාලන හා බෙදා හැරීමේ වියදම් පිළිවෙලින් 5%ක් හා 2%ක් ලෙස ඉහළ යාමත් සමඟ සමූහය පුරා ව්‍යාපාරික මෙහෙයුම් පිරිවැය විධිමත්කරණය සඳහා සිදු කළ සාමූහික ප‍්‍රයත්නයන් හේතුවෙන් කැපී පෙනෙන ඉතිරියක් උත්පාදනය කර ගැනීමට සමත් වී ඇත. මේ අතර පොලී, බදු, ක්ෂය සහ ලියා හැරීම්වලට පෙර ඉපැයීම් (EBITDA) 42%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 33.21 ක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර වසර තුළ සමූහයේ පොලී සහ බදු වලට පෙර ඉපැයීම් (EBIT) 58% කින් වර්ධනය වී රුපියල් බිලියන 25.95 ක් විය. ශුද්ධ මූල්‍ය පිරිවැය 38%කින් පහත වැටීම ණය විධිමත්කරණය සඳහා සමූහය දරන උත්සාහය හා වර්ෂය තුළ වෙළෙඳපොලේ පොළී අනුපාත අඛණ්ඩව පහත වැටීම පිළිබිඹු කරයි.

අධික ඉල්ලූම, ධාරිතා උපයෝගීතාව වැඩි කිරීම සඳහා කල් තියා ක‍්‍රියාමාර්ග ගැනීම, සැපයුම් ජාලය ඵලදායී ලෙස කළමනාකරණය සහ වටිනාකම් එකතු කළ නිෂ්පාදනවලින් වැඩි දායකත්වයක් ලබා දීම ආදිය මගින් ආරක්ෂිත අත් වැසුම්, පවිත‍්‍රකරණය සහ රෙදිපිළි අංශවල සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමට සමූහය සමත් වී ඇත. සමූහය කෘෂිකාර්මික සහ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශවල ද ප‍්‍රශංසනීය වර්ධනයක් වාර්තා කර තිබෙන අතර පැවති අභියෝග ගණනාවක් හමුවේ සමූහය සතු ඔරොත්තු දීමේ හැකියාව එමගින් මනාව පෙන්නුම් කරයි. වසරේ දෙවන අර්ධයේදී ප‍්‍රවාහන අංශයේ නැවත පිබිදීමක් පෙන්නුම් කරමින් ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇත. මේ අතර පාරිභෝගික හා සිල්ලර ව්‍යාපාර අංශය එහි ඉහළම ලාභය වාර්තා කිරීමට සමත්ව ඇති අතර තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා සේවාවලට ඇති අධික ඉල්ලූම සහ වැඩි පාරිභෝගික පිරිසක් වෙත ගෙන යාම සඳහා බෙදාහැරීමේ සේවා වඩාත් විධිමත්ව සිදු කිරීම කෙරෙහි සිංගර් සමූහයේ උපායමාර්ගික අවධානය යොමු කර තිබීම එමගින් පිළිබිඹු කරයි. කෙසේ වෙතත් පවතින කොවිඞ් වසංගතය හේතුවෙන් සංචාරක අංශය තවදුරටත් අවදානම් තත්වයේ පසු වෙයි.

ලබා ගත් මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන හේලීස් හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ‘‘පසුගිය සති කිහිපයේදී කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව නැවතත් ඉහළ ගියද ව්‍යාපාරික ක‍්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට රජය ගන්නා උත්සාහය සැලකිල්ලට ගෙන ආර්ථික සංවර්ධනයේ නව පරිච්ෙඡ්දයක් පිළිබඳව අප සුබවාදීව සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය. වැඩ කිරීමේ නව ක‍්‍රමවලට හැඩගැසෙමින් අපගේ කණ්ඩායම පශ්චාත් කොවිඞ් ලෝකයේ යතාර්ථය පිළිගෙන තිබෙනවා. මෙම සුවිශේෂී මූල්‍ය ප‍්‍රතිඵල ලබා ගැනීම සඳහා සමූහයට අවශ්‍ය නිවැරදි මගපෙන්වීම ලබා දුන් ධම්මික පෙරේරා මහතාට, අධ්‍යක්ෂ මණ්ඩලයට හා සමූහයේ කළමනාකාරීත්වයට මා විශේෂයෙන් ස්තූති කරන්න කැමතියි. ඒවගේම සමූහයේ වටිනාම සාධකය බව නැවතත් සනාථ කර තිබෙන හේලීස් කණ්ඩායමට ද මා ඉතා කෘතඥ වනවා. අපගේ අපනයන අරමුණු කරගත් ව්‍යාපාර මෙහෙයුම්වලින් අත්කර ගෙන ඇති සාර්ථක වර්ධනය එලෙසම පවත්වා ගැනීමට අප බලාපොරොත්තු වන අතරම වර්ෂයේ දෙවන අර්ධයේදී දක්නට ලැබුණු අපගේ දේශීය ව්‍යාපාරවල නැවත පිබිදීම 2021/22 දක්වා එලෙසම පවතිනු ඇතැයි ද මා අපේක්ෂා කරනවා. රෙදිපිළි අංශයේ අප සිටින ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි සමූහය විසින් South Asia Textiles Limited මෑතකදී අත්පත් කරගැනීමෙන් පෙනෙන්නට තිබෙන බැවින් අඛණ්ඩ ආයෝජන තුළින් අපගේ ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කරමින් හා ආර්ථික වටිනාකම් ඉහළ නැංවීමට අප සුබවාදීව බලා සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.

 

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව