CBL සමපෝෂ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන දෙකක් දිනාගනී

519A2011

මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ දේශීය සමාගමක් වන සිලෝන් බිස්කට්ස් සමාගමේ ප්‍රමුඛතම සන්නාමයක් වන CBL ‘සමපෝෂ‘, පසුගියදා පැවැති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදි විශිෂ්ටතා සම්මාන දෙකක් දිනාගැනීමට සමත්විය. එනම්, ‘වසරේ දේශීය සන්නාමය‘ යන කාණ්ඩයේ රිදී සම්මානයත්, ‘වසරේ ආයතනික සමාජ සත්කාර සන්නාමය‘ කාණ්ඩයේ ලෝකඩ සම්මානයත් සමපෝෂ වෙත හිමිවිය.

මෙවර 19වන වරට සංවිධානය කෙරුණු, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල යනු විශිෂ්ට අලෙවිකරණ හැකියාවන් උදෙසා ජාතික මට්ටමේ සම්මාන පිරිනමන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්මාන ප්‍රදානෝත්සවයකි. සන්නාමකරණයේ ඇති යහපත් භාවිතාවන් ප්‍රචලිත කිරීමට අමතරව, දේශීය සන්නාම ගෝලීය ප්‍රමිතීන් කරා ඔසවා තැබීම ද මෙම සම්මාන උළෙලේ අරමුණකි.

සියයට සියයක් ම දේශීය සන්නාමයක් වන CBL සමපෝෂ, දේශීය ගොවි ජනතාවගේ හොඳම නිෂ්පාදන සිය අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් නිෂ්පාදනය කෙරේ. තව ද සමපෝෂ සන්නාමය, ආයතනික සමාජ සත්කාර අංශයෙන් ද දැවැන්ත මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර, පාරිභෝගිකයින්ට මෙන්ම තමන් හා  බැඳී සිටින ගොවි ප්‍රජාව වෙත ද ඒ හරහා ප්‍රතිලාභ සලසා දීමට කටයුතු කර තිබේ.

සමපෝෂ සතුව 12,000කට වැඩි ග්‍රාමීය ගොවි පවුල් ජාලයක් පවතී. CBL සමාගම ලබාදෙන සහතික මිල හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත වීමත්, ඒ හරහා ග්‍රාමීය ආර්ථිකය හා අවසාන වශයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් වීමත්, සමපෝෂ නිෂ්පාදන ක්‍රියාවලියේ තවත් විශේෂත්වයකි.

 




 

 

මීට වසර දෙකකට පෙර “Breakfast එක හරි වැදගත්“ යන තේමාව ඔස්සේ ආරම්භ කළ, දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ ‘සමපෝෂ දිනන දරුවෝ’ ජාතික මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් හා මිලියන 3කට අධික පාරිභෝගික ජනතාව සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් අප රටට දායාද කිරීම සඳහා ගත් උත්සාහය සැමගේ ගෞරවාදරයට පත්විණි.

මෙම ජයග්‍රහණ  පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා පැවසුවේ, දේශීය සමාගමක් ලෙස දේශීය ප්‍රජාව හා බද්ධ වී කටයුතු කිරීමෙහිලා සමපෝෂ සන්නාමයේ කැපවීම මෙම සම්මාන හරහා මැනවින් පිළිබිඹු වන බව ය. “සමපෝෂ කියන්නේ දෙමාපියන් අතර වගේ ම දරුවන් අතරත් ඉතාමත් ජනප්‍රිය නිෂ්පාදනයක්. විශේෂයෙන් ම අපේ රටේ ළමා පරපුරේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට සමපෝෂ මගින් ලැබෙන සහාය අති විශාලයි. ඒ වගේ ම සමපෝෂ නිෂ්පාදනය කිරීමට ලබාගන්නා, ඉරිඟු, සහල්, මුං, සෝයා වැනි ධාන්‍ය වර්ග සියයට සියයක් ම සපයාගන්නේ දේශීය ගොවීන්ගෙන්. ඒ හරහා ඔවුන්ගේ ආර්ථිකයත් දියුණු වෙනවා”, ඔහු වැඩිදුරටත් පැවසීය.

සමපෝෂ පිළිබඳව

CBL ප්ලේන්ටි ෆුඩ්ස් ආයතනය විසින් සියයට සියයක්ම දේශීය ගොවීන්ගෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් පමණක් නිෂ්පාදනය කරනු ලබන ‘සමපෝෂ‘ යනු, කෘතීම රසකාරක, වර්ණක හෝ කිසිදු කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු කර නොමැති දේශීය සහ අන්තර්ජාතික තත්ත්ව සහතිකයන්ගෙන් පිදුම් ලද අනර්ඝ නිෂ්පාදනයකි.

එමෙන්ම CBL ප්ලෙන්ටි ෆුඩ්ස් ආයතනය යනු මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන දේශීය සමාගමක් වන CBL සමාගම් සමූහයේ සාමාජිකයෙකි.

CBL සමාගම තම ව්‍යාපාර කටයුතුවලදී මෙන්ම ආයතනික සමාජ සත්කාර තුළින් ද සියලු පාර්ශ්ව කෙරෙහි දක්වන සෙනෙහස හේතුවෙන් ජනතාවගේ නිරන්තර ඇගයීමට පාත්‍රවී ඇත.

මෙම සම්මාන උළෙලේදී CBL සමාගමේ ප්‍රධානතම සන්නාමය වන CBL මන්චි, වසරේ හොඳම සන්නාමය ඇතුළු සම්මාන 5කින් ද, CBL රිට්ස්බර්, සම්මාන 4කින් ද, CBL සමූහය මුළු සම්මාන 11කින් ද පිදුම් ලැබීය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව