වයිබර්, ෆේස්බුක් සමඟ පැවැති ව්‍යාපාර සබඳතා සියල්ල අත්හරියි

viber-security
  • දත්ත වංචාවන් සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ෆේස්බුක් අසමත් වීම හේතුවෙන්, වයිබර් සිය බිලියනයක් වූ පරිශීලකයින් වෙනුවෙන් ෆේස්බුක් සමඟ ඇති සියලු ව්‍යාපාරික සබඳතා අවසන් කරදමයි

2020 ජුනි 26 කොළඹදී… කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඉහළ ම ආරක්ෂාවක් සපයන ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා අත්හරින බව නිවේදනය කර සිටී. ඒ අනුව Facebook Connect, Facebook SDK සහ  GIPHY යන විශේෂාංග සියල්ල නවතා දැමීමට වයිබර් පියවර ගනු ඇත. තව ද #StopHateForProfit යනුවෙන් ෆේස්බුක් ජාලයට එරෙහි ක්‍රියාත්මක සමාජ රැල්ලට සහාය පළ කරමින් ෆේස්බුක් තුළ සිදු කරන සියලු දැන්වීම් කටයුතු නැවැත්වීමට ද වයිබර් පියවර ගැනීමට නියමිත ය.

අමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සති කිහිපය තුළ පැවැති මහජන උද්ඝෝෂණ අතරතුරදී, Anti-Defamation League සහ NAACP ඇතුළු සමාගම් හයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ තම දැන්වීම් ජූලි මාසයේදී නවතා දමන ලෙස උපදෙස් දුනි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පැතිර යන වෛරී ප්‍රකාශනවලින් තම පරිශීලකයින් මුදාගැනීමට ෆේස්බුක් ආයතනයට නොහැකි වීම ඊට තුඩුදුන් ආසන්නතම හේතුව විය. කෙසේ වුව ද ඊට පෙරාතුව පවා ෆේස්බුක් සමාගම තම දත්ත අවභාවිත කිරීම පිළිබඳ චෝදනා ලැබීය. විශේෂයෙන්ම කුප්‍රකට කේම්බ්‍රිජ් ඇනලටිකා අනාවරණයේදී අදාළ දේශපාලන උපදේශන සමාගම ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87කගේ දත්ත රහසිගතව අත්පත් කරගෙන ඇති බව වාර්තා විය. එවන් පසුබිමක වෛරී ප්‍රකාශන ව්‍යාප්තිය යනු ෆේස්බුක් හි වරදකාරී හැසිරීමෙහි ආසන්නතම වරද ලෙස වයිබර් කළමනාකාරීත්වය කල්පනා කරයි.

“වර්තමාන ලෝකය තුළ සිය භූමිකාව කුමක්දැයි තමන් තවමත් අවබෝධ කරගෙන නොමැති බව ෆේස්බුක් දිගින් දිගටම ප්‍රකට කරමින් සිටිනවා. දත්ත අවභාවිතය සහ එහි ඇප් මෘදුකාංග සතු දුර්වල රහස්‍යභාවයට අමතරව දිගින් දිගටම සිය පරිශීලකයින්ට මුහුණ දීමට සිදුව ඇති අනතුරුදායක සහ හිංසාකාරී තත්ත්වයට එරෙහිව කිසිදු පියවරක් ගනිමින් ඔවුන් ආරක්ෂා කරගැනීමට  ෆේස්බුක් සමත් වෙලා නැහැ. සත්‍යය කුමක්දැයි අපි විනිශ්චය කළ යුතු නැහැ. මෙතැනදී අපි දකින එකම සත්‍යය වන්නේ ප්‍රචණ්ඩ අන්තර්ගතයන් හරහා ඇතැම් මිනිසුන් පීඩාවට පත්ව තිබෙන බවයි. ඊට එරෙහිව අපි පැහැදිලිව පියවර ගත යුතුයි” යැයි මෙම තීරණය පිළිබඳ අදහස් දක්වමින් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

වයිබර් ඇප් මෘදුකාංගය, ෆේස්බුක් සමඟ පවත්වාගෙන යන දැන්වීම්කරණය ඇතුළු සියලු සබඳතා අත්හැරීම 2020 ජුලි මස ආරම්භයේදී සිදුවනු ඇත. ඒ අනුව ෆේස්බුක් දැන්වීම් සඳහා වයිබර් ගෙවීම් ද වහාම අත්හිටුවීමට නියමිත ය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව