PCR පරීක්ෂණ සිදු කිරීමට පුද්ගලික රෝහල් හි රසායනාගාරයන් සූදානම්

Hospital-PCR

රජයේ සෞඛ්‍ය අංශ මගින් එවනු ලබන සාම්පලයන්ගේ පර්යේෂණ කටයුතු පමණක් සිදු කෙරේ.

පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් , ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සඳහා රජයේ  ඉල්ලීම පරිදි තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බව පවසා සිටී.  PCR පරීක්ෂණය පැවැත්වීම සඳහා අණුක රෝග නිර්ණය පහසුකම් ඇති ලංකා රෝහල, ආසිරි සර්ජිකල් රෝහල්, නවලෝක සහ ඩර්ඩන්ස් යන පුද්ගලික රෝහල් හි රසායනාගාර තුල රජයේ ඉල්ලීම පරිදි මෙම පොලිමරේස් චේන් රියැක්ෂන් පරීක්ෂණය (PCR )කෝවිඩ් 19 වෛරසය පැතිර යෑම සහ පාලනය කිරීමට රජයේ සෞඛ්‍ය අංශයන්ට සහාය වීමක් ලෙස සිදු කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්,  යුධ හමුදාපති සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දෛනිකව සිදුකරන PCR පරීක්ෂණය ප්‍රමාණය වැඩි කිරීම සඳහා පුද්ගලික රෝහල් සංගමයේ දායකත්වය ඉල්ලා සිටි අතර මීට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පුද්ගලික රෝහල් සංගමය මේ අවස්ථාවේදී මේ වසංගතය මැඩලීම සඳහා රජයට උපරිම සහාය ලබා දෙන බවට සහතික විය. මෙම එකඟතාව අනුව රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ මෙහෙයුම තුළ රජය මගින් පිහිටුවා ඇති කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ගෙන්, නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් සහ අනෙකුත් රජයේ අනුමත ආකාරයෙන් ලබා ගන්නා කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන්ගේ ශ්ලේශ්මල සාම්පල ඉහතින් සඳහන් කළ පුද්ගලික රෝහල් රසායනාගාරයන් වෙත යැවෙනු ඇත. මෙම ඒකාබද්ධ මෙහෙයුම යටතේ දෛනිකව පුද්ගලික රෝහල් 4ක රසායනාගාරයන්හි රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සියලු නියාමනයන්ට යටත්ව PCR පරීක්ෂණ 100ක් පැවැත්වීමට නියමිතය.

ඉහතින් සඳහන් කළ සියලු පුද්ලික රෝහල් හි රසායනාගාරයන් වල පැවැත්වීමට නියමිත සියලු PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් එවනු ලබන සම්පලයන් සඳහා පමණක් සිදු කරන බව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය යළිත් අවධාරණය කරන අතර දැනට පුද්ගලික රෝහල්වල වෙනත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා ද අවශ්‍යතාව පරිදි PCR පරීක්ෂණ පැවැත්වීමට පුද්ගලික රෝහල් පියවර ගෙන ඇත.

මේ පිලිබඳව අදහස් දක්වන එම සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසුවේ මෙම ව්‍යවසනකාරී තත්වයට මුහුණ දෙමින් කෝවිඩ් 19 වෛරසය මැඩලීමට හා පැතිරයෑම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඩ් 19 වෛරසය වැලැක්වීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට උපරිම සහාය ලබා දීමට තම සංගමයේ සාමාජික පුද්ගලික රෝහල් මනා සූදානමකින් සිටින බවයි.

‘‘ විවිධ අභියෝග මැද රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පීඩනය අවම කිරීම සඳහා පුද්ගලික රෝහල් තමන්ට පැවරී ඇති ජාතික මෙහෙවර මනාව අවබෝධ කර ගනිමින් ක්‍රියාකරමින් සිටීම සැබවින්ම සතුටට කරුණක්. එමෙන්ම මේ අසීරු මොහොතේ රජය  වෙනුවෙන් පවත්වාගෙන යායුතු අනෙකුත් සෞඛ්‍ය සේවා නොපිරිහෙලා ඉටු කරමින් විශේෂයෙන් සැත්කම්, හදිසි ප්‍රතිකාර ආදී සේවා පවත්වාගෙන යෑමටත් පුද්ගලික රෝහල් වලට හැකි වීම තුළ කෝවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් වදින රජයේ සෞඛ්‍ය අංශයන්ට විශාල අස්වැසිල්ලක් සපයන බවට කිසිදු සැකයක් නැහැ.

‘‘ රජයේ සෞඛ්‍ය අංශයන් , වසංගත රෝග නිවාරණ ඒකකය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු සියලු මාර්ගෝපදේශයන් දැඩිව පිළිපදිමින් පුද්ගලික රෝහල් දවසේ පැය 24පුරාම සතියේ සෑම දිනකම රෝගීන් අපේක්ෂා කරන සෞඛ්‍ය සේවාව ලබා දීමට සහතිකවී සිටිනවා. එමෙන්ම රජයේ සෞඛ්‍ය  අංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්ණායකයන් පිළිබඳව පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සෑම සාමාජිකයකුම දැනුවත් කරන අතර එම නිර්ණායකයන් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස සාමාජිකයින් දැනුවත් කිරීම සිදු කරයි“

‘‘අපගේ හදිසි ප්‍රතිකාර සේවාවන් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සායනික පහසුකම් වෙනදා මෙන්ම සිය විශිෂ්ට සේවාවන් එලෙසම පවත්වාගෙන යන අතර රජයේ සෞඛ්‍ය අංශයන්ට සිය කෝවිඩ් 19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ගයන්ට දැඩි අවධානය යොමු කිරීමට අපගේ ක්‍රියාමාර්ග මහෝපකාරී වනු ඇති බව මට විශ්වාසයි‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව