
බවර් සමූහයේ, සේවකයින්ගේ ප්‍රතිචාර පදනම් කරගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 2027 වසර සඳහා පිරිනමනු ලබන ‘Great Place to Work®’ සහතිකය හිමිකර සමත් වී තිබේ. මෙම සමීක්ෂණයේ දී සේවකයින්ගෙන් 78%ක් බවර් සමූහය සේවය කිරීමට ඉතා සුදුසු සේවා ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබෙන අතර එය ‘Great Place to Work’ ජාත්‍යන්තර මිණුම් දර්ශකයට වඩා ප්‍රතිශත ලකුණු 8ක ඉහළ අගයක් ගනී. එමෙන්ම, තමන් සමූහයට එක්වූ අවස්ථාවේදී ඉතා සුහදශීලී පිළිගැනීමක් ලැබුණු බව සේවකයින්ගෙන් 90%ක් ප්‍රකාශ කර තිබේ.
සේවකයින්ගේ අදහස් හා අත්දැකීම් පාදක කරගනිමින් පිරිනැමෙන ‘Great Place to Work’ සහතිකය, ආයතනය කෙරෙහි සේවකයින් තුළ පවතින විශ්වාසය සහ ඔවුන්ගේ සේවා පරිසරය පිළිබඳව සිදු කෙරෙන ජාත්‍යන්තර ඇගයීමක් ලෙස ද පිළිගැනේ.
සේවක සුබසාධනය, තරගකාරී වැටුප් හා ප්රතිලාභ සහ අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා කාර්ය මණ්ඩලය සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මානව සම්පත් ප්‍රතිපත්තියක් මත මෙම සාර්ථකත්වය ගොඩනැගී තිබෙන බවත් එමඟින් සේවකයින්ගේ යහපැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා තමන් දක්වන කැපවීම මනාව පිළිබිඹු වන බවත් බවර් සමූහය පවසයි. මානව සම්පත්, මිලදී ගැනීම් සහ තිරසාරත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කෙන් විජේකුමාර් මහතා 2022 වසරේ දී සමූහයට එක්වූයේ සේවකයින්ට වඩාත් හිතකාමී සංස්කෘතියක් දෙසට පියනැගීමට නායකත්වය ලබාදීම සඳහාය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, බවර් සමූහය හුදෙක් රැකියා අවස්ථා සැපයීමෙන් ඔබ්බට ගොස්, සෑම පුද්ගලයෙකුටම සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය සහාය ලබාදීම අරමුණු කරගත් බවයි.
වෘත්තීය දියුණුව සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, අනාගත නායකත්ව භූමිකා සඳහා සේවකයින් සූදානම් කිරීමේ අරමුණින් ඉහළ හැකියාවන් සහිත, කැපී පෙනෙන දක්ෂතා දක්වන සහ ප්‍රධාන වෘත්තීය ක්ෂේත්රවල නිරත පුද්ගලයින් මෙහිදී හඳුනාගනු ලැබේ. තවද, ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් සඳහා මාස හයක පුහුණුලාභී (internship) වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, එම කාලය අවසානයේ ඇතැම් පුහුණුලාභීන්ට ස්ථිර රැකියා අවස්ථා ද පිරිනමනු ලබයි.
පවුලේ යහපැවැත්ම සහ සුබසාධනය ප්‍රමුඛත්වයේ ලා සැලකීම මෙම වැඩපිළිවෙළේ කැපී පෙනෙන ලක්ෂණයකි. රජය විසින් ලබාදෙන දින 84 ක මාතෘ නිවාඩු කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර ඇති අතර, එම කාලය තුළ වැටුප් සහිතව නිවසේ සිට වැඩ කිරීමේ (work from home) හැකියාව ද පවතී. පියවරුන්ට දරුවාගේ උපතට පෙර සහ පසුව ලබාගත හැකි පරිදි සති දෙකක පීතෘත්ව නිවාඩු හිමිවේ. වැටුපට අමතරව ළමා ආධාර දීමනාවක් (Child Support Benefit) ලබාදුන් මෙරට පළමු සමාගම බවර් සමූහය බව සඳහන් කරයි. එමෙන්ම, සේවකයින්ට අවමංගල්‍ය ආධාර ලබාදීමේ දී ඔවුන්ගෙන් කිසිදු මූල්‍ය දායකත්වයක් අය නොකරන අතර, ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල සමූහය විසින් දරනු ලබයි.
ආර්ථික අර්බුදය පැවති කාලසීමාවේ දී පවා බවර් සමූහය සිය සේවක පුහුණු වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් සේවක රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව, සුදු කරපටි (White Collar) සහ නිල් කරපටි (Blue Collar) යන දෙඅංශයේම සේවකයින්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා නැවත පුහුණු කිරීමේ, කුසලතා ඉහළ නැංවීමේ සහ ඩිජිටල් පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කරන ලදී. ගෙවීම් සහිත කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංග භාවිතය පිළිබඳ පුහුණුව ද ඒ අතරට ඇතුළත් වේ.
තවද,වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ගතවන බව පෙන්වා දෙන කෙන් විජේකුමාර් මහතා සඳහන් කරන්නේ, බවර් සමූහයේ ඇතැම් සේවකයින් වසර 30ත් 40ත් අතර දීර්ඝ සේවා පළපුරුද්දක් ඇති අය බවයි. එබැවින්, වෙනස්කම් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවට සේවකයින්ගේ සහභාගීත්වය හා එකඟතාව ලබාගනිමින් ඒවා ක්‍රමානුකූලව හඳුන්වා දීමට සමාගම කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
2018 ඔක්තෝබර් සිට බවර් සමූහයේ නායකත්වය දරන කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා සඳහන් කර සිටියේ අපගේ අරමුණ ශ්‍රී ලංකාවේ හොඳම සමාගම බවට පත්වීම නොව, ශ්‍රී ලංකාවට වඩාත්ම වටිනාකමක් එක් කරන සමාගම බවට පත්වීම බවයි.
රොල්ෆ් බ්ලාසර් මහතා The CEO සඟරාව මගින් ‘2022 වසරේ වඩාත්ම ඇගයීමට ලක්වූ CEO’ ලෙසත්, Global CEO මගින් ‘2025 වසරේ CEO’ ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2024 දී Global CEO නායකත්ව විශිෂ්ටතා සම්මානය ද දිනාගත්තේය. සමූහයේ අධ්යක්ෂ මණ්ඩලයට කාන්තා අධ්යක්ෂවරියන් දෙදෙනෙකු ඇතුළත් වේ, එනම් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක මහත්මිය සහ මුදල් අධ්‍යක්ෂිකා පවිත්‍රා සමරසිංහ මහත්මියයි. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම අත්දැකීම් බහුල ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකාවේ විවිධ වාණිජ මණ්ඩල සහ වෘත්තීය වේදිකා සඳහා දායකත්වය ලබා දෙයි.
බවර් සමූහය 1897 දී පොහොර ව්‍යාපාරයෙන් ආරම්භ වූ අතර 1945 දී සෞඛ්‍ය සංරක්ෂණ ක්ෂේත්රයට පිවිසුණි. අද වන විට එහි කාර්ය මණ්ඩලය කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සංරක්ෂණය, පාරිභෝගික භාණ්ඩ, කාර්මික විසඳුම්, ගුවන් සේවා, සංචාරක සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ගණනාවක සේවය කරයි. කෙන් විජේකුමාර් මහතා 2025 මුල් භාගයේ දී ශ්‍රී ලංකා වරලත් මානව සම්පත් කළමනාකරණ ආයතනයෙන් (CIPM) ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ස්වර්ණ සම්මානය (Lifetime Gold Award) පිදුම් ලැබීය. තිරසාරත්වය වෙනුවෙන් බවර් සමූහය එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන අතර, එහි ප්‍රධාන කාර්යාලය සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වේ.


