
පසුගියදා පැවැත්වුණු Islamic Finance News (IFN) සම්මාන උළෙලේදී ප්‍රධාන පෙළේ සම්මාන 3 ක් දිනාගනිමින්, ශ්‍රී ලංකාවේ පොලී රහිත ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සිය නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීමට අමානා බැංකුව සමත් විය. පසුගිය වසර 5 තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වශයෙන් IFN සම්මාන හිමිකර ගැනීමට අමානා බැංකුවට හැකි වී තිබේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදනයට නැඹුරු බැංකුව (Most Innovative Bank in Sri Lanka) යන සම්මානද අමානා බැංකුව වෙත හිමි විය. ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා සපයන ආයතන 15 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අතර, මේ ආකාරයට තරගකාරීත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ පවා අමානා බැංකුවට දිගින් දිගටම මෙබඳු ඇගයීම් හිමි වීම විශේෂත්වයකි.
මැලේසියාවේ REDMoney සමූහය විසින් සංවිධානය කරනු ලබන IFN සම්මාන උළෙලට වසර 20 ක ඉතිහාසයක් ඇත. මෙම සම්මාන උළෙල මඟින් ගෝලීය ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන සහ සුවිශේෂී ගනුදෙනු ඇගයීමට ලක්කරනු ලබයි. අමානා බැංකුව වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලට සහභාගී විය.
මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමානය, ඊජිප්තුව, පාකිස්ථානය, බංග්ලාදේශය, තුර්කිය, එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක ක්‍රියාත්මක වන ඉස්ලාමීය ආයතන රාශියක් මෙම සම්මාන උළෙලට වාර්ෂිකව ඉදිරිපත් වේ. බැංකු සහ මූල්‍ය සේවා ආයතනවලට අමතරව සුකුක් (Sukuk) මූල්‍ය උපකරණ, තිරසාරත්වය අරමුණු කරගත් මූල්‍යකරණය, ඒකාබද්ධ මූල්‍යකරණය, ජාත්‍යන්තර මූල්‍යකරණය සහ සමාජයේ යහපත අරමුණු කරගත් මූල්‍යකරණය වැනි ක්ෂේත්‍රවල විශිෂ්ට ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුද IFN සම්මාන උළෙලේදී ඇගයීමට ලක්කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී සුකුක් (Sukuk) නිකුත් කිරීමේ පුරෝගාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇගයීමට ලක් වූ ස්වෛරී රාජ්‍ය ආයතන, Standard Chartered සහ HSBC වැනි ප්‍රමුඛ පෙළේ ගෝලීය මූල්‍ය ආයතන, S&P Global Ratings සහ Moody’s ඇතුළු ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙන්ම Al Rajhi Bank, Kuwait Finance House, Dubai Islamic Bank සහ Abu Dhabi Islamic Bank වැනි ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය බැංකුකරණ ආයතනද සම්මානලාභීන් අතරට ඇතුළත් විය.
මෙම සම්මාන හිමි වීම සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය:
“IFN සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස යළිත් වරක් ඇගයීමට ලක්වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. විශේෂයෙන්ම ගෝලීය ඉස්ලාමීය මූල්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතන රැසක් සමඟින් එකම වේදිකාවක අඛණ්ඩව පස්වැනි වසරටත් මෙලෙස ඇගයීමට ලක් වීම අපට මහත් ගෞරවයක්. මෙම සම්මානවල ජයග්‍රාහකයන් තීරණය කරනු ලබන්නේ, ඉස්ලාමීය මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ගෝලීය මට්ටමින් සිදුකරන මත විමසුමක් මඟිනුයි. මෙම ජයග්‍රහණ මඟින් අමානා බැංකුව කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු වන නිසා මෙම සම්මානවල වැදගත්කම තවත් වැඩි වනවා. අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, හවුල්කරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය සහ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම නොවන්නට මෙම ජයග්‍රහණ අත්කර ගැනීම දුෂ්කර වන්නට ඉඩ තිබුණා. අපගේ ගමන්මඟෙහි කොටස්කරුවන් වෙමින්, සංවර්ධනය කේන්ද්‍ර කරගත් අපගේ සුවිශේෂී මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට උරදීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම අපගේ ගෞරවණීය ස්තූතිය මෙසේ පිරිනමනවා.”
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.


