
ශ්රී ලාංකේය වැවිලි ක්ෂේත්රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා ආකාරය තාක්ෂණය හා නවෝත්පාදනයන් මගින් වෙනස් කරමින් පවතින්නේ ශ්රී ලංකාවේ වතු ක්ෂේත්රය පරිවර්තනීය යුගයකට ගෙන යමිනි. රට පුරා පිහිටි තේ වතු සහ අනෙකුත් වගා බිම්වල, සම්පූර්ණයෙන්ම පාහේ අතින් සිදු කළ කාර්යයන් සඳහා යන්ත්ර සූත්ර භාවිතය වඩ වඩාත් ඉහළ යමින් පවතී. එමෙන්ම, අතීතයේ සිටම හුදෙක් අත්දැකීම් මත පදනම්ව ගනු ලැබූ තීරණ විනිවිදභාවයකින් හා නිරවද්යතාවයකින් යුතුව ඉදිරියට ගෙන යාම සඳහා මෘදුකාංග සහ දත්ත භාවිත සඳහා වැවිලි ක්ෂේත්රය යොමුව ඇති බවද දැකිය හැකිය.
ස්වයංක්රීය අස්වනු නෙලන යන්ත්ර, කප්පාදු යන්ත්ර සහ ඩ්රෝන තාක්ෂණය වැනි දේ භූගෝලීය තොරතුරු පද්ධති සිතියම්කරණය, ඩිජිටල් කිරුම් පද්ධති සහ ව්යාපාරික මෘදුකාංග සමඟින් අද වන විට වැවිලි ක්ෂේත්රය තුළ භාවිතයට ගනිමින් සිටියි. තාක්ෂණය විවිධ වුවද ඒවා පෙන්නුම් කරන්නේ පොදු වෙනසකි. වෙනස් වෙමින් පවතින ශ්රම බලකායක් සමඟින් දිනෙන් දින ඉහළ යන ලෝක ඉල්ලුමට මුහුණ දීම සඳහා වඩාත් බුද්ධිමත් ක්රමවේදයන් වෙත යොමු වෙමින් පවතින බව මෙම තාක්ෂණයන් තුලින් පෙනෙන්නට ඇත.
කෙසේ වුවද, නව තාක්ෂණය හා යන්ත්රෝපකරණ යොදා ගැනීමද අභියෝග රහිත නොවේ. කඳු බෑවුම් සහිත භූමිය, විසිරුණු කුඩා වගා බිම් සහ බෝගවල පවතින විවිධත්වය හේතුවෙන් යන්ත්ර සූත්ර ඵලදායී ලෙස යෙදවිය හැකි ස්ථාන සීමා වේ. වතු නඩත්තු කිරීමේ පිරිවැය ඉහළ යමින් සේවක හිඟය දිනෙන් දින උග්ර වන මෙවන් කාලයක මිනිස් ශ්රමයේ පළපුරුද්ද සහ නවීන තාක්ෂණය එකට මුසු කිරීම කර්මාන්තයේ ඵලදායීතාවය, තරඟකාරීත්වය මෙන්ම එහි දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් ඉතා වැදගත් වන බව සඳහන් කළ යුතුය.
ශ්රම හිඟයට විසඳුම් සෙවීම
අද වන විට ශ්රී ලංකාවේ වැවිලි සමාගම් කර්මාන්තයේ ආරම්භක අවධියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ ශ්රම වෙළෙඳපොළ අභියෝගයකට මුහුණ දෙමින් සිටියි. විශේෂයෙන් ගම්බිම් අතහැර නගර හෝ විදේශ රටවලට සංක්රමණය වීම, ජනගහන විද්යාත්මක වෙනස්කම් සහ වෙනත් ක්ෂේත්රවල ඇති ආකර්ෂණීය රැකියා අවස්ථා නිසා වතු සේවකයන් දිගුකාලීනව රඳවා තබා ගැනීම දුෂ්කර කරුණක් බවට පත්ව තිබේ.
යාන්ත්රීකරණ සාමාන්ය භාවිතයන්ගෙන් ඔබ්බට ගොස් සමස්ත වතු පාලනය පුරාම වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින්නේ එබැවිනි. නිදසුනක් ලෙස, Bogawantalawa Tea Estates PLC සමාගම විසින් වගා බිම් සකස් කිරීම, කප්පාදු කටයුතු, වල් නෙලීම, අස්වනු නෙලීම සහ කෘෂි රසායන ද්රව්ය ඉසීම සඳහා යන්ත්ර සූත්ර බහුලවම භාවිත කරයි. තේ වගාව සඳහා තෝරාගත් යාන්ත්රික දලු නෙලීමේ ක්රම සහ කප්පාදු යන්ත්ර හඳුන්වා දී ඇති අතර, මෙම යාන්ත්රික හා අර්ධ යාන්ත්රික ක්රමවේදයන් අනෙකුත් බෝග සඳහාද ව්යාප්ත කරමින් පවතී.
අගරපතන ප්ලාන්ටේශන්ස් පීඑල්සී සමාගමද මේ හා සමාන ප්රවේශයක් ගෙන ඇත්තේ වතු බිම් තුළ ඉන්ධන සහ බැටරි මගින් ක්රියාත්මක වන දලු නෙලන යන්ත්ර භාවිතයට යොමු වෙමිනි. නව වගා බිම්වල පැරණි ගස් උදුරා දැමීමට සහ බිම් මට්ටම් කිරීමට බැකෝ යන්ත්ර යොදා ගන්නා එම සමාගම පත්ර මත පොහොර හෝ ඖෂධ ඉසීම සඳහා ඩ්රෝන යානා යොදා ගැනීමට කටයුතු කර ඇත. කර්මාන්තශාලා තුළද, නිෂ්පාදන ධාරිතාවන්ට අනුව ගැලපෙන ස්ථානයන් වෙත ස්වයංක්රීයකරණය සහ බලශක්ති කාර්යක්ෂම යන්ත්ර සූත්ර හඳුන්වා දීමටද ඔවුන් මේ වන විට කටයුතු කරමින් සිටිති.
වැවිලි කර්මාන්ත තාක්ෂණය වෙනස් වන අයුරු
යාන්ත්රීකරණයෙන් ඔබ්බට යමින්, වැවිලි සමාගම් මේ වන විට ක්රමයෙන් දත්ත මත පදනම් වූ ව්යාපාර බවට පරිවර්තනය වෙමින් පවතියි. එහිදී ප්රාදේශීය වතු සමාගම් තම එදිනෙදා කටයුතු සම්පූර්ණයෙන්ම වෙනස් කරන නවීන තාක්ෂණයන් වෙත වැඩි වැඩියෙන් යොමු වෙමින් පවතියි. නිදසුනක් ලෙස, අගරපතන ප්ලාන්ටේශන්ස් සමාගම විසින් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (facial recognition) සහිත ස්වයංක්රීය අමු තේ දලු කිරීමේ පද්ධති හඳුන්වා දෙමින් පවතින අතර, පොහොර මිශ්රිත ජල සම්පාදන ක්රමවේදයන්ද සැලසුම් කරමින් සිටියි. එමෙන්ම, ඔවුන්ගේ කර්මාන්තශාලා දහයක් දැනටමත් සූර්ය බලශක්තියෙන් ක්රියාත්මක වන අතර, ඉන් කර්මාන්තශාලා හයකම කාබන් විමෝචනය අවම කිරීමටද කටයුතු කර ඇත.
එමෙන්ම ඇල්පිටිය ප්ලාන්ටේශන්ස් පීඑල්සී සමාගම විසින් නෙලා ගත් තේ දළුවල තත්ත්වය සහ සංයුතිය නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා Ballotronix නම් නවීන තේ දලු තේරීමේ යන්ත්ර හඳුන්වා දී ඇත. මීට අමතරව iHarvest සහ Microsoft Dynamics 365 Business Central ව්යාපාරික මෘදුකාංගයේ සහයද ඔවුන් ලබාගෙන ඇත. මේ හරහා වතු කළමනාකරුවන්ට හෙක්ටයාර දහස් ගණනක් පුරා විහිදී ඇති සමස්ත වතු යායේම එදිනෙදා තොරතුරු සජීවීව එකම තැනක සිට නිරීක්ෂණය කිරීමටද හැකි වී තිබේ.
තලවකැලේ Tea Estates PLC සමාගමද 1992 වසරේ සිට මේ හා සමාන පරිවර්තනයක් සිදු කරමින් සිටියි. ඒ අනුව, 2008 වසරේ සිට ඔවුන්ගේ සියලුම කර්මාන්තශාලා සඳහා උණු වතුර බොයිලේරු හඳුන්වා දුන් අතර, 2015 වසරේ සිට සජීවී දත්ත රැස්කිරීමේ හැකියාව සහිත ඉලෙක්ට්රොනික කිරුම් පද්ධති මෙන්ම සේවකයන් සඳහා ටැබ් පරිගණක, පරිගණක සහ නවීන වැටුප් ගෙවීම් පද්ධතියක්ද හඳුන්වා දෙන ලදී. පාම්ස්ටන් (Palmerston), රදැල්ල සහ සමර්සෙට් (Somerset) යන වතුවල පිහිටා ඇති සූර්ය බලශක්ති පද්ධති සහ කුඩා ජල විදුලි බලාගාර මගින් වතු යායට අවශ්ය පුනර්ජනනීය බලශක්තිය සපයා ගනියි. එමෙන්ම, ඔවුන්ගේ පහතරට තේ කර්මාන්තශාලා සඳහා ඉහළම තාක්ෂණයෙන් යුත් නවීන වර්ණ වර්ගීකරණ යන්ත්ර ලබා දී ඇත. මීට අමතරව, 2025 වසරේ සිට රසායන ද්රව්ය සහ පොහොර දියර ඉසීම සඳහා ඩ්රෝන යානා භාවිත කරනු ලබයි. මෙම සියලුම දේ හරහා පෙන්වා දෙන්නේ ඉහළ කාර්යක්ෂමතාවයක් සහ තිරසාර පැවැත්මක් උදෙසා සමස්ත වතු ක්ෂේත්රයම කෙතරම් ක්රමානුකූලව තාක්ෂණය වැළඳගෙන ඇත්ද යන්නයි.
තාක්ෂණික වෙනස්කම් වගා බිම්වලට පමණක් නොව තේ කර්මාන්තශාලාවන්ටද යොදා ගැනීමට මේ වන විට කටයුතු කර ඇත. බලශක්ති කාර්යක්ෂම යන්ත්ර සූත්ර සඳහා එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඇල්පිටිය වතු සමාගමෙහි කර්මාන්තශාලාවලින් 80%කට වඩා වැඩි ප්රමාණයක් මේ වන විට ඉහළම තාක්ෂණයෙන් යුත් නවීන යන්ත්ර සූත්ර භාවිතයෙන් සිදු කරනු ලබයි. මෙහි ප්රධාන අරමුණ වන්නේ නිෂ්පාදන ධාරිතාව මෙන්ම එහි කාර්යක්ෂමතාව යන දෙකම ඉහළ නැංවීමයි.
අනෙක් අතට, Malwatte Valley Plantations PLC සමාගම මගින් තවත් සාර්ථක විකල්ප ක්රමවේදයක් හඳුන්වා දී ඇත. තමන්ගේ කුරුඳු වගාව ඉහළ නැංවීමෙන් පසු එම සමාගමට දක්ෂ කුරුඳු තලන්නන්ගේ දැඩි හිඟයකට මුහුණ දීමට සිදු විය. මෙයට පිළියම් ලෙස එම සමාගමේ ඉංජිනේරුවන් විසින් කුරුඳු තැලීම සඳහාම විශේෂිත වූ නවීන යන්ත්ර සූත්ර නිපදවා, ඒ සඳහා වන පේටන්ට් බලපත්රයද ලබා ගැනීමට සමත් විය.
මෙයින් පැහැදිලි වන්නේ ක්ෂේත්රයක පවතින බාධාවන් හෝ සීමාවන් නව තාක්ෂණික නවෝත්පාදනයන් බිහි කිරීමට කෙතරම් බලපෑමක් කරන්නේද යන්නයි. එමෙන්ම, විශේෂිත ශ්රම සැපයුම්වලට පමණක් සීමා කොවී තම ව්යාපාර කටයුතු පුළුල් කර ගැනීමටද මේ තුලින් අවස්ථාව උදා වේ.
තවද මෙම සමාගම matcha නිෂ්පාදනය සඳහා ස්වයංක්රීය කර්මාන්තශාලා පද්ධති සහ යන්ත්ර සූත්ර වෙනුවෙන්ද ආයෝජනය කරමින් සිටියි. නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට පමණක් නොව නිෂ්පාදනවල අගය එකතු කිරීමේ ක්රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාද ඔවුන් තාක්ෂණය භාවිත කරනු ලබයි.
යන්ත්ර සූත්ර භාවිතය තුලින් රැකියා අවස්ථා උත්පාදනය
ස්වයංක්රීය අස්වනු නෙලන යන්ත්ර, කප්පාදු යන්ත්ර සහ පොහොර/කෘෂි රසායන ඉසින යන්ත්ර සූත්ර භාවිතය සඳහා වතු සේවකයන්ව මේ වන විට පුහුණු කරමින් පවතින අතර, යන්ත්ර නඩත්තුව, දත්ත රැස්කිරීම සහ ඩිජිටල් වාර්තාකරණය වැනි කරුණු මුල් කරගනිමින් ක්ෂේත්රය තුළ නව රැකියා භූමිකාවන් බිහිවෙමින් පවතී.
නිදසුනක් ලෙස, හොරණ ප්ලාන්ටේශන්ස් පීඑල්සී සමාගම විසින් වතු ක්ෂේත්රයේ පවතින ශ්රම හිඟයට පිළියමක් ලෙස යාන්ත්රික දලු නෙලීමේ ක්රමවේද හඳුන්වා දී ඇත. එමගින් අස්වැන්න, නිෂ්පාදනවල ඒකාකාරී බව සහ ශ්රම ඵලදායීතාවය ඉහළ ගොස් ඇති බව එම සමාගම පවසන අතර, තාක්ෂණය මුසු වූ මෙම නව අස්වනු නෙලීමේ ක්රමවේද නිසා වතු රැකියා තරුණ පරම්පරාවට වඩාත් ආකර්ෂණීය රැකියා අවස්ථා බවට පත් කිරීමටද හැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්රධාන ලේකම් ලලිත් ඔබේසේකර මහතා සඳහන් කර සිටියේ අප මුහුණ දී සිටින ශ්රම හිඟයට පිළියම් සෙවීමට සහ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා තාක්ෂණය අත්යාවශ්ය සාධකයක් බවට පත්ව තිබෙන බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ “මෙහිදී ශ්රී ලංකාවේ පවතින පාරිසරික සහ භූමි තත්ත්වයන්ට වඩාත්ම ගැළපෙන තාක්ෂණික ක්රමවේදයන් සඳහා ප්රමුඛතාවය ලබා දිය යුතු අතරම සේවකයන්ට නිසි පුහුණුවක් ලබා දීම හරහා එම යන්ත්ර සූත්ර වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමට ඔවුන්ව බල ගැන්විය යුතුයි. යන්ත්රයකින් ප්රතිස්ථාපනය කළ හැකි රැකියා ප්රමාණය ගණනය කිරීමට වඩා, යාන්ත්රීකරණය දෙස බුද්ධිමත්ව බැලිය හැකි වඩාත්ම ප්රයෝජනවත් ක්රමය එයයි,” යනුවෙනි. මෙම තාක්ෂණික වෙනස්කම් හරහා වතු ක්ෂේත්රයේ ඵලදායීතාවය මෙන්ම ලාභදායීත්වයද ඉහළ යන බවද ඒ මහතා සඳහන් කර සිටියි.
කර්මාන්තයේ හෙට දවස
වැවිලි කර්මාන්තය ගමන් කරන දිශානතිය මේ තුලින් පැහැදිලිව අවබෝධ කරගත හැකිය. ඒවා නිරවද්ය කෘෂිකර්මාන්තය, ඩිජිටල් බෝග පුරෝකථනය, ස්වයංක්රීය කාලගුණ නිරීක්ෂණය, ස්මාර්ට් ජල සම්පාදන ක්රම, ඩිජිටල් සොයා ගැනීමේ පද්ධති සහ තවදුරටත් සිදුවන යාන්ත්රීකරණය ඉදිරියේදී වඩාත් සාමාන්ය දේවල් බවට පත්වනු ඇත.
එයින් අදහස් කරන්නේ වතු සේවකයාගේ අවසානය හෝ පරම්පරා ගණනාවක් තිස්සේ රැකගෙන ආ කෘෂිකාර්මික දැනුම නැතිවී යාම නොවේ. සේවකයන් සහ ඔවුන් සතු දැනුම, මෙම නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් වඩ වඩාත් ඉදිරියට ක්රියාත්මක වන බවයි.
තම තරඟකාරීත්වය සඳහා දිගු කලක් තිස්සේ වගා බිම් සහ මානව ශ්රමයෙන් උපරිම වටිනාකමක් ලබා ගැනීම මත යැපුණු මෙම කර්මාන්තයට, උදා වී ඇති අවශ්යතාවය ඉතා පැහැදිලිය. නව අවස්ථාවන් නිර්මාණය කිරීම, නාස්තිය අවම කිරීම සහ සෑම සේවකයෙකුගේම මෙන්ම සෑම බිම් අඟලකම ඵලදායීතාවය ඉහළ නැංවීම යුගයේ අවශතාව බවට පත්ව ඇත්තේ එහෙයිනි.


